fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්GOSSIPමොනාලිසාට කේක් ප්‍රහාරයක්

    මොනාලිසාට කේක් ප්‍රහාරයක්

    පැරීසියේ ලූවර් ක‍ෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ලියනාඩෝ ඩා වින්චිගේ ලෝක ප්‍රකට මොනාලිසා චිත්‍රය එහි පැමිණි වයෝවෘද්ධ කාන්තාවක ලෙස වෙස්වළාගත් පරිසර ක්‍රියාකාරිකයකුගේ කේක් ප්‍රහාරයට ලක්ව තිබේ.

    සමාජ මාධ්‍යවල පළ වූ වීඩියෝවල දැක්වෙන්නේ කාන්තා බොරු කොණ්ඩයක් දමාගත් තොල් ආලේපන පැළැඳි රෝද පුටුවකින් පැමිණි නාඳුනන අයකු විසින් චිත්‍රයට කේක් ප්‍රහාරයක් එල්ල කොට ආරක්ෂක නිලධාරීන්ට හසුවීමට පෙර කෞතුකාගාර ගැලරිය තුළ රෝස මල් විසිකරන ආකාරයයි.

    වයසක කාන්තාවක් ලෙස වෙස්වලාගෙන සිටි අපරාධකරු රෝද පුටුවෙන් බිමට පැන චිත්‍රය ආවරණය කර තිබූ වෙඩි නොවදින වීදුරුවට පහර දීමට පටන්ගෙන ඇත.

    එම ඝන වීදුරුවෙන් චිත්‍රය ආරක්ෂා වූ නමුත් කේක් ප්‍රහාරයෙන් සුදු පැහැ අයිසින් ක්‍රීම් වීදුරුව පුරා අවලස්සන ලෙස විසිරී තිබෙනු දක්නට හැකිය.

    පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ නිලධාරීන් පෙර දින සිදු වූ මෙම අනපේක්ෂිත සිද්ධිය පිළිබඳව සඳුදා අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ.

    ට්විටර් හි පළ කරන ලද තවත් වීඩියෝවක දැක්වෙන්නේ එම සේවකයා විසින්ම කවුළුව පිරිසිදු කිරීම අවසන් කරන අතර තවත් සේවකයෙකු ඩාවින්චිගේ චිත්‍රය ඉදිරිපිට රෝද පුටුවක් ඉවත් කරන ආකාරයයි.

    “පෘථිවිය ගැන සිතන්න, මිනිසුන් පෘථිවිය විනාශ කරනවා” යනුවෙන් එම පුද්ගලයා ප්‍රංශ භාෂාවෙන් පැවසූ අතර පැරිස් ගැලරියෙන් ආරක්ෂකයන් විසින් ඔහුව රැගෙන ගියහ. “කලාකරුවන් ඔබට කියන්නේ පෘථිවිය ගැන සිතන්න කියලා. ඒ ගැන සිතන්න. ඒකයි මම මේක කළේ.”

    16 වන සියවසේ පුනරුද සමයේ විශිෂ්ට කලා කෘතියක් වන මෙම මොනාලිසා චිත්‍රය මීට පෙර ද මෙවැනි ඉලක්කවලට ලක්වී ඇත. මෙම සිතුවම 1911 දී කෞතුකාගාර සේවකයෙකු විසින් සොරකම් කරන ලදී. එමගින් එහි ජාත්‍යන්තර කීර්තිය වැඩි වූ බව කියැවේ.

    1956 දෙසැම්බරයේ බොලිවියානු මිනිසෙක් මෙම සිතුවමට ගලක් විසි කිරීමෙන් චිත්‍රයේ මොනාලිසාගේ වම් වැලමිටට හානි වූ දා සිට මොනාලිසා චිත්‍රයට වීදුරු ආරක්ෂාවක් සවිකෙරිණි.

    2005 දී එය තවදුරටත් වඩාත් ශක්තිමත් කරන ලද වීදුරු ආවරණයක් තුළ බහා තැබූ අතර චිත්‍රයට, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කරමින් ඉන් සිදුවිය හැකි හානිය පවා වැළැක්විය හැකි ආවරණයක් යෙදීමට බලධාරීන් කටයුතු කළහ.

    2009 දී, ප්‍රංශ පුරවැසිභාවය ලබා ගැනීමට නොහැකි වීම නිසා කෝපයට පත් රුසියානු කාන්තාවක් චිත්‍රය වෙත හිස් තේ කෝප්පයක් විසි කර ඇති අතර එමගින් ආවරණය තරමක් සීරීමට ලක් විය. දැන් එය වෙඩි නොවදින වීදුරු ආවරණයකින් ආරක්ෂා කර තිබේ.

    ලූවර් යනු ලොව විශාලතම කෞතුකාගාරයයි. COVID-19 වසංගතයට පෙර වසරකට මිලියන 10 ක් පමණ නරඹන්නන් ආකර්ශනය කර ගත් සිය දහස් ගණනක අග්‍රගන්‍ය කලා කෘති මෙහි තැන්පත් කර ඇත.

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.