fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිවාස අමාත්‍යාංශයේ ප්‍රයෝජනයට නොගත් ඉඩම් කඩිනමින් වගා කිරීමේ තීරණයක්

    නිවාස අමාත්‍යාංශයේ ප්‍රයෝජනයට නොගත් ඉඩම් කඩිනමින් වගා කිරීමේ තීරණයක්

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන සතු මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් කඩිනමින් වගා කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව මේ සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

    මෙම වැඩසටහන යටතේ අදාල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡා කර එම ප්‍රදේශවලට ආවේනික භෝග වගාවන් සිදු කිරීමට ඒ අනුව පියවර ගැනේ.

    ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම මෙම තීරණය ගෙන ඇත.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති නිවාස රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ආයතනවල නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

    මෙම සාකච්ඡාව පසුගිය සිකුරාදා (20) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේදී පැවැත්විණ.

    ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් දුන්නේ අදාල ආයතන සතු කිසිම ඉඩමක් හිස්ව නොතිබිය යුතු බවටයි.

    ආයෝජන සදහා ලබා දී ඇති ඉඩම් මෙතෙක් භාවිතා කර නොමැතිනම් එම ඉඩම් වහාම ආපසු පවරා ගන්නා ලෙසත්, අලුත් අයෝජකයන්ට ඒවා ලබා දීමට කටයුතු කරන ලෙසත් ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

    ආයෝජන සදහා ඉඩම් ලබා දිමේදී දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැන්වීම් ප්‍රචාරය කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා කීවේය.

    රටේ ආර්ථික තත්ත්වය යහපත් වනතුරු මේ වනවිට සැලැසුම් කරඇති නව ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවන ලෙස උපදෙස් දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි අයවැය ඉදිරිපත් වනතුරු අත්‍යාවශ්‍ය දේවල් සදහා පමණක් අමාත්‍යාංශ ප්‍රතිපාදන වැය කරන ලෙසටද උපදෙස් දුන්නේය.

    මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් මෙසේද කීවේය. “ ආණ්ඩුව ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ගතහැකි සෑම පියවරයක්ම ගන්නවා. මේ මොහොතේ අපේ ප්‍රමුඛතාවය මේ ආර්ථික අර්බුදයෙන් රටත් ජනතාවත් ගලවා ගැනීමයි. ඉන්ධන, ගෑස් පෝලිම් අවම කරලා ජනතාව මුහුණපා තිබෙන දුෂ්කරතාවලින් ඔවුන් මුදවා ගැනීමට අපි හැම දෙයක්ම කරනවා.

    ගෝ ගම්මාන හදලා හර්තාල් කරලා ඉන්ධන, ගෑස් ප්‍රශ්නයට උත්තර හම්බවෙන්නේ නෑ. ඒවා අවසන් කරන්න නම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනෑ.

    ඒ වැඩපිලිවෙල ආණ්ඩුවකට තනිව ක්‍රියාත්මක කළ නොහැකියි. ඒකට සියලුම පාර්ශවයන්ගේ සහයෝගය අත්‍යාවශ්‍යයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියන්නේ මේ රටේ සංවර්ධනයට සෘජුවම දායකවන අමාත්‍යාංශයක්. ඒ වුනත් මේ වෙලාවේ අපේ වගකීම තමයි මේ ආර්ථික අර්බුදයට විසදුම් හොයන එක.

    ඒ නිසයි මම අත්‍යාවශය අමාත්‍යාංශ වියදම් හැර සෙසු වියදම් කපා හරින්න කියලා කිව්වේ. දැනට ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් වගා කරන්න උපදෙස් දුන්නේ.”

    මෙම සාකච්ඡාව සඳහා නිවාස රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති කෝමදෝරු හිරාන් බාලසූරිය මහත්වරු ඇතුලු නිලධාරී පිරිසක් සහභාගී වූහ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.