fbpx
තවත්
    මුල් පිටුවspecialබාලසූරියගෙන් පසු දංගෙඩියට හිස තබන්නේ සී.ඩී. ද?

    බාලසූරියගෙන් පසු දංගෙඩියට හිස තබන්නේ සී.ඩී. ද?

    ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරුන්ට මෑත දශකය තුළ ඇත්තේ අපල කාලයකි.

    දැන් ගෙවමින් ඇත්තේ වත්මන් පොලිස්පති සී.ඩී.ගේ අපල කාලයයි.

    පොලිස්පති පුටුවෙන් ඔහු විසිවන තරමට එම අපලය බලවත්ය. ඒ ඔහුට එරෙහි ග්‍රහයන් බලවත්ව සිටින බැවිනි.

    ඇතැම් ග්‍රහයන් තමන්ගේ ආරක්ෂකයන් යැයි කියා ඔහුගේ විශ්වාසයක්ද තිබුණේය. සෙසු ග්‍රහයන්ට වඩා එම ග්‍රහයන්ට ඔහු වැඩියෙන් සලකණු ලැබුවේද ඒ නිසාය. දැන් එම ග්‍රහයන් සී.ඩී.ව කුජීතකර හමාරය.

    හැබැයි සී.ඩී. තවමත් ප්‍රමාද නැත. තමාගේ ග්‍රහයා බලවත්කර ගන්නා හැටි ඔහු හොඳ හැටි දනියි. සී.ඩී.ගේ පැවැත්ම ඇත්තේ එතැනය.

    එසේ නොවුනොත් සී.ඩී.ට සිදුවන්නේද පූජිත්ට සහ බාලසූරියට චෙච්ච දේමය.

    සී.ඩී. පොලීසියේ ලොකු පුටුවට එන්නේ , එන්න ඕනේ කාලෙට අවුරුද්දකට පෙරයි. කලින්ම ඔහුට පොලීසියේ ලොකු පුටුවේ අසුන් ගැනීමට සිදුවන්නේ පූජිත්ගේ කරමත පාස්කු ප්‍රහාරයේ වගකීම පැවරෙමින් පොලිසියේ ලොකු පුටුවෙන් ඔහුව පැත්තකට විසිකර දමන නිසාය.

    රටම දැන හඳුනාගෙන සිටි පූජිත්ට අවසානයේ සිදුවන්නේ හිරේ විලංගුවේ වැටීමටය. පොලිස් ඉතිහාසයේ ඔහුගේ නම දැන් ලියැවී ඇත්තේ හිරේ විලංගුවේ වැටුණු පළමු පොලිස්පතිවරයා ලෙසිණි. එසේම වැඩ තහනමට ලක්වූ පළමු පොලිස්පති ලෙසද ඔහුගේ නම ඉදිරියේ අපකීර්තිමත් සටහනක් ලියැවී ඇත්තේය. ඉතිහාසය එසේ ලියැවුණත් අද පූජිත් සිටින්නේ අධිකරණයෙන් නිදොස් වූ පුද්ගලයෙක් ලෙසය.

    ඒ කතා වෙන කතාය. මේ කථාව තවත් කතාවකි.

    පූජිත් පොලිස්පති වන්නේ ඊට පෙර පොලිස්පතිධුරයේ සිටි පොලීසියේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේත් ජනතාව ජනතාව අතරත් ගෞරවයට පාත්‍රව සිටි ඉලංගකෝන්ගේ විශ්‍රාමයාමත් සමඟිනි. ඉලංගකෝන්ට ඒ තැන ලැබෙන්නේ මහින්ද බාලසූරියගෙන් පසුවය.

    බාලසූරියද පොලිස් ඉතිහාසයේ අමුතුම විදිහට නම ලියැවී ඇති තවත් එක් චරිතයකි. හැබැයි ඔහුටත් සිදුවන්නේ විශ්‍රාම ගැනීමට වසරක් ඉතිරිව තිබියදීම පොලිස්පතිධුරය අතහැරයාමටය. ඒ අද මේ රටේ ඇතිවී තිබෙන අර්බුදයට සමාන අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙමිනි. හැබැයි ඒ අර්බුදය ආර්ථික අර්බුදයකට එහා ගිය දේශපාලනික අර්බුදයක් යැයි සඳහන් කළහොත් වරදක් නැති තරම්ය.

    මේ කියන වකවානුව 2011 මැයි 30 වෙනිදාය. එදා අපේ රටේ නිදහස් වෙළඳ කලාපවල සේවයේ නිරතව සිටි සේවක සේවිකාවන් දහස් ගණනින් පාරට බසින්නේ ඒ වන විට පැවති මහින්ද රාජපක්ෂ රජය විසින් යෝජනා කළ පුද්ගලික අංශයේ සේවක විශ්‍රාම වැටුප් පනතට එරෙහිව හඬ නගන්නටය. ඒ හඬ මහා දැවැන්ත විරෝධයක් බවට පත්වන බව කල්තියා දැන සිටි බලධාරීන් එය පාලනය කිරීමේ වගකීම පවරන්නේ පොලිස් ලොක්කාටය. හෙතෙම බාලසූරියයි.

    බාලසූරිය මේ විරෝධය පාලනය කිරීමට සැළසුමක් සකස් කළේය. කටුනායක නිදහස් වෙළඳ කලාපයේත් බියගම ඇතුළු වෙළද කලාප ආවරණය වන පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් කැඳවමින් ආරක්ෂක වැඩ සටහනක් ක්‍රියාත්මක කළේය. එහි වගකීම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පැවරුවේය.

    එදා පොලීසිය කලාපයේ විරෝධයට පහරදුන්නේය. කඳුළු ගෑස් වලින් සීමා නොවී කටුනායක කලාපයේ ඇගළුම් සේවක සේවිකාවන්ට වෙඩිද තැබුවේය. රොෂේන් චානක නම් වූ තරුණයා මිය යන්නේ ඒ තැබූ පොලිස් වෙඩිල්ලකිනි. ඒ වන විට නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් කිහිප දෙනෙක්ම පොලිස් වෙඩි පහරවලට ලක්ව සිටියහ. හාරසියයකට වැඩි පිරිසක් පහරදීම්වලින් තුවාල ලබා සිටියහ.

    මෙම පොලිස් පහරදීමට එරෙහිව ජාත්‍යන්තරය පවා අවධිවන්නට ගත්තේය. මුළු රටේම පෞද්ගලික අංශය පාරට බැසීමට ද ඒත් එක්කම සූදානම් විය. ඒ මුළු රටම අකර්මර්ණය කරමිනි.

    මෙම අවස්ථාවේදී රජය බේරා ගැනීමට දංගෙඩියට යන්නේ බාලසූරියයි.

    ඔහුගෙන් පසු පොලිසියේ ලොකු පුටුව හිමිවනු ඇතැයි විශ්වාසයක් තිබුණේ ගාමිණි නවරත්න නම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටය. පොලීසියේ මැතිවරණ අංශය භාරව සිටි ඔහුට ඒ අවස්ථාව අහිමිව යන්නේ එදා කටුනායක ප්‍රහාරය එල්ලවන විට එහි ආරක්ෂාව භාරව සිටි පොලිස් ප්‍රධානියා වූයේ ඔහු නිසාය. බාලසූරිය පොලිස්පතිධුරය අතහැරීම නිසාම බේරුණේ ආණ්ඩුව විතරක්ම නෙමෙයි. නවරත්නට ඇතුළු පොලීසියේ බොහෝ දෙනෙක් හිරේ විලංගුවේ නොවැටී ගැලවුණේය.

    ඉලංගකෝන්ටද කල්තියාම පොලීසියේ ලොකු පුටුවේ අසුන් ගැනීමට අවස්ථාවක්ද උදා වුනේ ඒ විදිහටය. ඒත් එක්කම රජයට එරෙහි විරෝධතා ද ශූන්‍ය වී ගියේය.

    ඒ එදාය.

    අද ඒ තැන සිටින්නේ සී.ඩී.ය. 60 න් රජයේ සේවකයන් විශ්‍රාම ගන්නේ නම් සී.ඩී.ට ඉතිරිව ඇත්තේ තවත් අවුරුද්දකට කිට්ටු කාලයකි. හැබැයි ඔහුව පන්නා ඒ පුටුව ඩැහැ ගන්නට මාන බලන අයද නැතුවාම නොවේ. මේ දවස්වල විතරක් නෙමෙයි පහුගිය කාලෙත් ඒ වෙනුවෙන් කුමන්ත්‍රණ නොතිබුණා ද නොවන බව පොලීසිය ඇතුලේ ප්‍රසිද්ධ රහසකි.

    එවන් තත්ත්වයක් හමුවේ සී.ඩී. රැකෙයිද? ගෙදර යයිද? අසූ පන්දහසක් පමණ වූ පොලිස් බළකායටම ඇත්තේ මේ මොහොතේ විසඳුම් නොමැති පැණයක් පමණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.