fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති‍ අණ දී තිබියදී ගාලුමුවදොර ප්‍රහාරය වැළකීම නතර කළේ කවුදැයි රමේෂ් පතිරණ...

    ජනපති‍ අණ දී තිබියදී ගාලුමුවදොර ප්‍රහාරය වැළකීම නතර කළේ කවුදැයි රමේෂ් පතිරණ හෙළිකරයි

    ගෝඨාගෝගමට හා අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලකරුවන්ට පසුගිය 9 වැනිදා පහරදීමට එන පිරිස නවත්වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබියදී එය ක්‍රියාත්මක කරීම පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක ලේකම්වරයා විසින් වළක්වා ඇති බව හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

    පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එය මෙසේ විස්තර කළේය.

    “ මේ සිද්ධිය සිදුවුණ දවසේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා ධුරයෙන් ඉවත්වන බව දන්වලා ඊට කලින් දවසේ එතුමට සුබ පතන්න සමුදෙන්න පිරිස් රැගෙන එන්නෙයි කියලා. අපිත් ගාල්ලෙන් පිරිසක් රැගෙන ආවා. අරලිය ගහ මන්දිරයට ඒ පිරිස ගියා. ඒ පිරිස් මෙතනට ආපු සාතිශය බහුතරයකගේ පරම අභිලාෂය වුණේ දීර්ඝ කාලයක් මේ රටට සේවය කරපු අගමැතිවරයා ධුරයෙන් ඉවත් වන දවසේ ගෞරවාන්විත සමුදීමක් ලබාදෙන්න.

    මේ රැස්වීමේ අපිත් හිටියා. මේ රැස්වීම අවසානයේදී අපි ඉතාම කනගාටුවෙන් සඳහන් කරන්නේ මුග්ධ දේශපාලඥයින් කිහිප දෙනෙක් මෙතනට ආපු ජනතාවට අනියම් බලපෑමක් කළා. ඒක පිළින්නට අවශ්‍යයි. ඒ බලපෑමට නතුවෙලා අපු පිරිසෙන් සියයට 10ක් විතර අඩු ප්‍රමාණයක් ගෝඨාගෝගමට පහර දෙන්න ඕන කියන මානසිකත්වයෙන් ගාලු පාරේ ගමන් කළා. මේ සිදුවීම ඉතාම අවාසනාවන්ත සිදුවීමක්.

    මේ අරගලය මාසයක් තිබුණා. ජනපතිතුමාටත් කාටවත් කවදාවත් අවශ්‍යතාවක් තිබුණේ නෑ මේ උද්ඝෝෂණයට ගලක්වත් ගහන්න. ඒ නිසා තමයි ඒක එදත් තිබුණේ අදත් තියෙන්නේ ඒ නිසා තමයි.. ඒ පිරිස යනකොට මම අරලිය ගහ මන්දිරයේ සිටියේ ඒ පිරිස යනකොට නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මැතිතුමාට කථා කළා ‘මෙහෙම අවාසනාවන්ත සිදුවිමක් වෙන්න යනවා කරුණාකරලා මේක නවත්වන්න’ කිව්වා.

    ඩී.අයි.ජී. තෙන්නකෝන් මහත්තයා මට කිව්වා ‘කිසිම ගැටලුවක් නෑ සර් සියලුම රෝඩ් බ්ලොක් දාලා තියෙන්නෙ මේක අපි නවත්වනවා’ කියලා. ඒ කෝල් එක දීලා මම ජනපති මන්දිරයට ගියා ජනපතිතුමාගෙ රැස්වීමකට. ජනාධිපති මන්දිරයේ මම ඉන්නකොට මට කථා කළා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මැතිතුමා. මට කිව්වා ‘ලොකු ගැටලුවක් වෙන්න යනවා ඇමතිතුමා වහාම ජනාධිපතිතුමාට කියන්න මේක නවත්වන්නෙයි’ කියලා.

    එතකොට මම ජනාධිපතිතුමාට කිව්වා ‘විශාල ගැටලුවක් සර් මෙතන ලොකු අර්බුදයක් වෙන්න යනවා වහාම මැදිහත්වෙලා නවත්වන්න’ කියලා. එතකොට ඇමතිවරු කිහිප දෙනෙක් හිටියා ජනාධිපතිතුමා දුරකතන ඇමතුමක් ගත්තා ‘මම උදේ කිව්වා නේද මේක නවත්වන්න කියලා. මොකක්ද මේ වෙන්නේ’ කියලා ඇහුවට පස්සේ එතකොට ඩී.අයි.ජී. තෙන්නකෝන් කිව්වා ‘සර් 12.40ට පොලිස්පතිතුමා කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා. පොලිස්පතිතුමා කිව්වේ. නියෝජ්‍ය පොලිස්පතිතුමා ජනාධිපතිතුමාට කිව්වා කෙලින්ම මේක නවත්වන්න එපා කියලා පොලිස්පතිතුමා කිව්වේ’ කියලා.

    ජනාධිපතිතුමා කිව්වා ‘තමුසෙට මම කිව්වේ, රටේ ජනාධිපති, වහාම නවත්වනවා’ කියලා ජනාධිපති කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නතර කරන්න ජනපතිතුමා මැදිහත්වුණේ. ඊට පස්සේ තමයි මේක මේ විදිහටවත් බේරුණේ. අනුර කුමාර දිසානායක මහතා කරපු කථාව ඇත්ත. දෙන්නෙක් අද මානව හිමිකම් කොමිසමට උත්තර දුන්නා. මේ ප්‍රහාරය නවත්වන්න එපා, මේ මුග්ධ පිරිස නවත්තන්න එපා කියලා නියෝග කළේ පොලිස්පතිත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන එකත් තමයි සත්‍ය කාරණය.. මේ් ප්‍ර්‍රහාරයෙන් පස්සේ මේ ප්‍රහාරයට සම්බන්ධ නැති ගෙදර යන්න ගිය විශාල පිරිසක් පහරකෑවා. ඒක අවාසනාවන්ත සිදුවීමක්.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.