fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට තිස් වසරක ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 13ක්

    මෙරට තිස් වසරක ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 13ක්

    තිස්වසරක් තිස්සේ මෙරට පැවති අමානුෂික එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙරට රණවිරුවන් විසින් පරාජය කර අදට වසර 13 ක් සපිරේ. ඒ 2009 වසරේ අදවැනි දිනයකදි ය.

    1975 වසරේ ජූලි 27 වැනිදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා නල්ලූර් කෝවිල වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීම මෙරට තිස් වසරක යුද්ධයේ පළමු අඳුරු මතකයයි.

    එම සිද්ධියෙන් ඇරඹි ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි 1983 දී එල්.ටී.ටී.ඊය හමුදා සෙබලූන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගින් දිවයින පුරා පැතිර ගියේය.

    ඉන් පසු ගෙවුණු දශක දෙකකට වැඩි කාලය තුළ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය විසින් මෙරට සෑම මට්ටමකම වැසියන් දහස් ගණනින් ඝාතනය කරන ලදී.

    එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ලොව ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානයක් බවට ලෝකයා විසින් හඳුනා ගැනුණි.

    2001 වසරේදී ශ්‍රී ලංකා රජය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹුනද එල්.ටී.ටී.ඊ.ය දිගින් දිගටම එය කඩකළේය.

    එල්ටීටීඊය මෙරට දෙමළ ජනතාව මිනිස් පළිහක් ලෙසත් කුඩා දරුවන් ළමා සොල්දාදුවන් ලෙසත් භාවිත කළේය.

    ඒ අනුව මෙරට රණවිරුවන්ට තිබූ ප්‍රබල අභියෝගයක් වූයේ කොටි නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ගේ මිනිස් ඝාතන සිදුකිරීමේ බිහිසුණු උත්සාහයන් පරාජය කර ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමයි.

    එම අභියෝගයද සාර්ථකව ජයගැනීමට ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක සාමාජිකයන්ට හැකිවිය.

    දශක 3ක් පුරා රටක් වැනසූ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවසන් සටනට නායකත්වය දුන්නේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. එදා ආරක්ෂක ලේකම් වූ (වත්මන් ජනාධිපති) ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීමෙන් හමුදා මෙහෙයවූ එවක යුධ හමුදාපති, (වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී) සරත් ෆොන්සේකා, නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී (වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී) සරත් වීරසේකර සහ පොලිස්පති ජයන්ත වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නායකත්වයෙන් ද සුවහසක් රණවිරුවන්ගේ දිවි හිමියෙන් කළ කැපවීමත් නිසා ලොව බිහිසුණුම ත්‍රස්තවාදීන්ගෙන් 2009 අද වැනි දිනෙක ශ්‍රී ලාංකික ජනතාව නිදහසේ හුස්ම ගැනීමට සැලසූ විජයග්‍රහණයට උරුමකරුවන් ලෙස ඉතිහාසයට එක්විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.