fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩීසල් තොග නිකුත් නොකිරීමට හේතු ඇමති කියයි

    ඩීසල් තොග නිකුත් නොකිරීමට හේතු ඇමති කියයි

    • බලාගාරවලට ඩීසල් නොදුන්නොත් පැය 7- 8ක විදුලි කප්පාදුවක්
    • ලබන කැබිනට්ටුවට ඉන්ධන මිල සූත්‍රයක්
    • සපුගස්කන්ද වසාදැමීම නොකල යුතුව තිබුණා
    • සිපෙට්කෝ තවමත් දිනකට රු. මිලියන 1613ක් පාඩුයි

     

    ලංකා ඛනිජ තෙල් සංස්ථාවේත් (සිපෙට්කෝ) සහ ලංකා අයි.ඕ.සී. සමාගමේත් ඉන්ධන මිල එකම මිලකට පවත්වාගෙන යාම සඳහා වූ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් ලබන සතියේ කැබිනට්ටුවට ඉදිරිපත්කරන බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදි අද සදහන් කළේය.

    ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    දෛනිකව තවමත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් මිලියන 1613ක් පාඩු ලබන බවත් මේ වන විට භූමිතෙල් ලීටරයත් රුපියල් 85 කට අලෙවි කරනුයේ රුපියල් 200 කට වැඩි පාඩුවක් සහිතව බවද අමාත්‍යවරයා පැවසීය.

    ධීවර කාර්මිකයින් සහ අඩු ආදායම්ලභීන් ගැන සලකා ආණ්ඩුව එම පාඩුව දරා සිටින බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉකුත් 28 වෙනිදා ඉන්ධන මිල ඉහළ දමන විට ඩොලරය පැවතියේ 330 ක පමණ වූ ප්‍රමාණයක බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන රට තුළ තිබෙන නමුත් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳ වැටීමක් සිදුව ඇති බැවින් විදුලිය නිෂ්පාදනයට බලාගාර වෙත වැඩිපුර ඩීසල් ලබාදීමට සිදුව තිබෙන බැවින් ඩීසල් සම්බන්ධයෙන් මේ වන විට ගැටළුවක් පවතින බවද අමාත්‍යවරයා කීය. බලාගාරවලට ඩීසල් ලබාදීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තරණයකට එළඹී ඇතැයිද ඔහු පැවසීය.

    එසේ නොවුනහොත් විදුලි කැපිල්ල පැය 7-8 දක්වා කාලයක් දක්වා දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවත් එය කළ නොහැකි බැවින් මෙසේ බලාගාරවලට ඩීසල් ලබාදෙමින් විදුලි කැපීම පැය 3යි විනාඩි 20 ක ප්‍රමාණයෙන් පවත්වාගෙන යාමට සිදුව ඇති බවත් අමාත්‍ය කන්චන විජේසේකර මහතා අවධාරණය කළේය.

    නොරොච්චෝලේ බලාගාරය ලබන ඉරිදා සවස් වන විට නැවත යථා තත්වයට පත්වනු ඇති බව අමාත්‍යවරයා විශ්වාසය පලකරන අතර මහවැලි අමාත්‍යාංශය සමඟ එක්ව මහවැලි ජලාශවලින් විදුලිය වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමටද මේ වන විට පියවර ගෙන ඇති බවද ඔහු කීය.

    සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීම නොකල යුතුව තිබුණු දෙයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.