fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශපාලනය පසෙකලා අරගලය විප්ලවීය පරිවර්තනයකට යොමුකිරීමට එක්වන්න -ජනපති

    දේශපාලනය පසෙකලා අරගලය විප්ලවීය පරිවර්තනයකට යොමුකිරීමට එක්වන්න -ජනපති

    වැඩ කරන ජනතාව වෙනුවෙන් දේශපාලනය පසෙක තබා අරගලය ජනහිතකාමී විප්ලවීය පරිවර්තනයක් සහිත සුබ දිශානතියකට යොමු කිරීමට එක් වන ලෙස කම්කරු ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැයි දින පණිවුඩය නිකුත් කරමින් පවසයි.

    එමෙන්ම මෙවර කම්කරු දිනයේදී සියලු දෙනා එක් ව, පවතින අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්ෂ නායකයන්ට තමා නැවතත් ආරාධනය කරන බව ද ජනාධිපතිවරයා සිය පණිවුඩය ඔස්සේ ආරාධනා කර සිටී.

    ජනාධිපතිවරයාගේ් මැයි දින පණිඩුවය පහතින් දැක්වේ.

    ජාත්‍යන්තර කම්කරු දිනය එළැඹ ඇත්තේ ලෝකයේ කම්කරු ප්‍රජාව දැවැන්තම අභියෝගයට ලක්ව සිටින අවස්ථාවක ය.

    අපේ රටේ පසුගිය වසර තුන තුළ වඩාත් අභියෝගයට ලක් වූයේ ද කම්කරු ප්‍රජාව ය. ඒ සෑම අභියෝගයක් හමුවේ නො සැලී සියල්ල විඳ දරා ගනිමින්, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කැප වූවෝ ද ඔවුහු ම ය.

    ඔවුන් හමුවේ දිනෙන් දින එල්ල වන බලපෑම් වර්තමානයේ වඩාත් තීව්‍ර ය. ඉන් ජනතාව මුදා ගැනීමට සහ පවතින පීඩාකාරී ස්වභාවය අවම කර ගැනීම සඳහා රජයක් වශයෙන් අප විවිධ එළැඹුම්වලට යොමු වෙමින් සිටියි.

    විදේශ විනිමය හිඟ වීම නිසා නිර්මාණය වූ ගැටලු රාශියකි. ඒ සියල්ල කළමනාකරණය කිරීම වත්මන් ගැටලු සමනය කර ගැනීමට ඇති මඟ ය.

    පැන නැගුණ අයහපත් තත්ත්වය කවුරුන් විසින් සිදු කළේ ද යන්න පිළිබඳ පසු විපරම් කරනු වෙනුවට මේ මොහොතේ අප කළ යුතු වනුයේ ජනතාවට කඩිනමින් සහන සැලසිය හැකි වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමු කිරීම ය. එසේ ම වඩාත් උචිත, කාර්යක්ෂම, වැඩපිළිවෙළකට ගොස් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ය.

    රාජ්‍ය නායකයා වශයෙන් ජනතාවගේ පාර්ශ්වයේ සිට මා සියලු ම දේශපාලන පක්ෂවල නායකයන්ට එක් ව කටයුතු කිරීමට ආරාධනා කළේ මෙරටේ ජනතාවට වඩාත් යහපත් අනාගතයක් උදා කිරීමේ වගකීම දරමිනි. සෑම තත්පරය ම ජනතාවගේ පීඩාව අවම කිරීම සඳහා විසඳුම් දිය හැකි ක්‍රමවේදයන්ට පිවිස, පවතින අර්බුදවලට විසඳුම් සෙවීම අපගේ ඉලක්කයයි.

    මෙවර කම්කරු දිනයේදී සියලු දෙනා එක් ව, පවතින අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්ෂ නායකයන්ට මම නැවතත් ආරාධනය කරමි.

    වැඩ කරන ජනතාව වෙනුවෙන් දේශපාලනය පසෙක තබා අරගලය ජනහිතකාමී විප්ලවීය පරිවර්තනයක් සහිත සුබ දිශානතියකට යොමු කිරීමට එක් වන ලෙසත් කම්කරු ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    ගෝලීය ශ්‍රම බලවතුන් වන කම්කරු සහෝදරත්වය, මූර්තිමත් කරන ලෝක කම්කරු දින සැමරුම සඳහා මා ඔබ සමඟ එක් වන්නේ එකී අපේක්ෂා සමඟ ය.

    ගෝඨාභය රාජපක්ෂ

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.