fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝක කම්කරු දිනය අදයි - මෙරට සැමරුම් වෙනස් මුහුණුවරකින්

    ලෝක කම්කරු දිනය අදයි – මෙරට සැමරුම් වෙනස් මුහුණුවරකින්

    ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදයි. මෙවර එය සමරනු ලබන්නේ 136 වැනි වරටය.

    වර්ෂ 1886දී පැය 8ක සේවා මුරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් කම්කරුවන් පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස් ව විරෝධතාවයක නිරත වූ අතර එම විරෝධතාවය දිනකිහිපයක් පුරා පැවතිණි.

    එරට පොලීසිය මෙම විරෝධතාවයට ප්‍රහාර එල්ල කළ අතර විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට පත් විය.

    මෙම අරගලය ආරම්භ වූ මැයි පළමුවැනි දිනය, වර්ෂ 1889 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

    ඒ අනුව ලොව පුරා බොහෝ රටවල් වාර්ෂිකව කම්කරු දිනය සැමරීම සිදු කරයි. පෙළපාළි ,රැළි සහ රැස්වීම් සංවිධානය කරමින් ලෝක කම්කරු දිනය සමරනු ලබයි.

    අතීත කම්කරු අරගල දිගු වැඩ දින සහ සති, ශ්‍රම සූරාකෑම, ළමා ශ්‍රමය ඇතුළු කම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව පවත්වා ඇත.

    19 වැනි සියවසේ අගභාගයේ දී වෘත්තීය සමිති සහ සමාජවාදී කණ්ඩායම් විසින් කම්කරුවන්ට සහාය දැක්වීමේ දිනයක් ලෙස නම් කිරීමෙන් පසුව මැයි 1 කම්කරු ව්‍යාපාරය හා සම්බන්ධ විය.

    මැයි පළමු දිනය බොහෝ රටවල නිල නිවාඩු දිනයකි. වර්ෂ 1956 එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ රජයේ කම්කරු ඇමති ධූරය දැරූටී.බී.ඉලංගරත්න මහතා ශ්‍රී ලංකාවේ මැයි පළමුවැනි දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

    ශ්‍රී ලංකාවේ ද මැයි දින පෙළපාලි, රැස්වීම් මීට පෙර විචිත්‍ර ස්වභාවයෙන් යුත් දේශපාලන පක්ෂ විසින් සංවිධාන කිරීම සාමාන්‍යයෙන් සිදුවිය.

    එහෙත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ගෙවුණු වසර දෙක තුළ මැයි දිනය සැමරීමට බාධා එල්ල විය.

    මෙවර එන්නත්කරණ වැඩසටහන සාර්ථක වීම නිසා ජනතාවට මැයි දිනය සැමරීමට අවස්ථාව ලැබී ඇතත් විචිත්‍ර ‍ලෙස සංවිධාන කරන ලද මැයි දින සැමරුම් අද දක්නට නොලැබෙනු ඇතැයි වාර්තා වේ.

    ඒ වෙනුවට රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් ආණ්ඩුවට එරෙහි තේමා පාඨ සටන් පාඨ මුල් කරගනිමින් මැයි දින සැමරුම් සංවිධාන කර තිබෙනු අසන්නට ලැබේ.

    දින 23ක් තිස්සේ පවත්වන ගාලුමුවදොර පිටියේ විරෝධතාකරුවන් සමඟ ඇතැම් දේශපාලන පක්ෂ වෙනත් ප්‍රදේශවල සිට පාගමනින් පැමිණ මැයි දින රැස්වීම් පැවැත්වීමේ සූදානමක් ගැන වාර්තා වේ.

    රටේ ප්‍රධානතම පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි පෙළපාළියක් නොපවත්වන බව වාර්තා වේ. එහි හවුල්කාර කණ්ඩායම් වන මහජන එක්සත් පෙරමුණ, ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලය ඇතුළු සංව්ධාන කිහිපයක සහභාගිත්වයෙන් නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨය අභියසදී අද සවස 3.00ට සිය මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර ඇත.

    ආණ්ඩුවේ හවුල්කාර කණ්ඩායම් ලෙස පෙර කටයුතු කළ ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, මහජන පක්ෂය හා දේශක්ති ජනතා පෙරමුණ ඒකාබද්ධව කොම්පඤ්ඤවීදියේ සිට පෙළපාලියකින් පැමිණ සවස 3.00ට හයිඩ් පිටියේදී මැයි රැලිය පැවැත්වීමට නියමිත ය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැයි දින රැලි ආසන හා දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී මැයි දින උදෑසන සමරුවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

    අධිරාජ්‍යවාදී අතපෙවීම්වලට, රට අස්ථාවර කිරීමට, ආණ්ඩුවේ නොහැකියාව ජනතාව මත
    පැටවීමට එරෙහිව අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමට බල කරමින් ජාතික නිදහස් පෙරමුණේ මැයි දින රැලිය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද සවස 3.00ට පැවැත්වේ.

    පසුගිය 26 වැනිදා සමගි ජන බලවේගය මහනුවරින් ආරම්භ කළ සමගි බල පා ගමන නිමා කිරීමෙන් පසුව කොළඹ දී මැයි රැලියක් පැවැත්වීමට තීරණය කර තිබුණි.

    ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන රතු මැයි රැලිය කොළඹ, යාපනය, අනුරාධපුර හා මාතර දී පියවර හතරක් වශයෙන් පැවැත්වේ. කොළඹ මාළිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිටින් පෙළපාළිය ආරම්භ වන අතර කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මැයි රැලිය පැවැත්වේ.

    දෙමළ ජාතික සන්ධානය ‘උතුරු – නැඟෙනහිර අපේ නිජබිම’ මැයෙන් අද පස්වරු 2.00ට කිලිනොච්චි නගර මධ්‍යයේදී මැයි රැලිය පැවැත්වීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.