fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවට සහාය වෙන්න සූදානම් - IMF

    ශ්‍රී ලංකාවට සහාය වෙන්න සූදානම් – IMF

    වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහතික වෙයි.

    ශ්‍රී ලංකාව පිළිබඳ IMF හි ස්ථාවරය පිළිබඳ ප්‍රකාශයක් අද(23) නිකුත් කරමින් ඔවුන් මේ බව අවධාරණය කළේ ය.

    “IMF කණ්ඩායම ඉදිරියට ශ්‍රි ලංකාවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමෙන් වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වනු ඇත.” යනුවෙන් එම ප්‍රකාශයේ දැක්වේ.

    පසුගිය දින කිහිපය පුරා මෙරට දූත පිරිස අමෙරිකාවේ වොෂින්ටන්, ඩීසී හි දී IMF සහ ලෝක බැංකු නියෝජිතයින් රැස්වීම් ගණනාවක් පැවැත්විය.

    එහිදී IMF කළමනාකාර ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ එහි කළමනාකාරිත්වයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, මුදල් අමාත්‍ය අලි සබ්රි සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් හමුවි සාකච්ඡා කළහ.

    එම සාකච්ඡාවලදී මෙරට ආර්ථික අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළ බව එම නිවේදනයේ දැක්වේ.

    ශ්‍රී ලංකාව සඳහා වූ IMF සහාය දක්වන වැඩසටහනක් පිළිබඳ එහිදී මූලික තාක්ෂණික සාකච්ඡා පැවැත්වීය.

    ශ්‍රී ලංකාව සඳහා වූ දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි විසින් අද නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

    “අප්‍රේල් 18-22 අතරතුර, ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහ IMF කණ්ඩායම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහාය දක්වන වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් ඵලදායී තාක්ෂණික සාකච්ඡා පැවැත්වීය.

    ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා, සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සහ වත්මන් ආර්ථික අර්බුදයේ දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් කෙරෙහි ඇති වන අහිතකර බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ගයක වැදගත්කම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

    IMF කණ්ඩායම ශ්‍රී ලංකාවේ ණයහිමියන් සමඟ සහයෝගී සංවාදයක නිරත වීමට එරට බලධාරීන්ගේ සැලැස්ම සාදරයෙන් පිළිගත්තේය. “

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.