fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවට ඉක්මන් මුල්‍යාධාරයක් දෙන්න IMF අවධානය - ඉන්දියාවේත් සහය

    ශ්‍රී ලංකාවට ඉක්මන් මුල්‍යාධාරයක් දෙන්න IMF අවධානය – ඉන්දියාවේත් සහය

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා කඩිනම් මූල්‍යාධාරයක් නිකුත් කිරීම පිළිබද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අවධානය යොමුව තිබේ.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මුදල් ඇමති ඇතුළු මෙරට දූත පිරිස ඊයේ(18) වොෂින්ටන් ඩීසී හි IMF මූලස්ථානයේදී හමුවූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා වී ඇත.

    ශ්‍රී ලංකාවට කඩිනම් මූල්‍ය ආධාරයක් මේ මොහොතේ අවශ්‍ය බවට මුදල් ඇමතිවරයා විසින් එම සාකච්ඡාවේදී කරන ලද විශේෂ ඉල්ලීම සළකා බැලීමෙන් පසුව IMF නියෝජිතයන් මුදල් අමාත්‍යවරයාට අවධාරණය කර ඇත්තේ වේගවත් මුල්‍යාධාරයක් ලබාදීම සඳහා ඉන්දියාව ද ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බව ය.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) කඩිනම් මූල්‍යාධාර නිකුත් කිරීම සඳහා දැනට සම්මත ක්‍රමවේදයන් පවතී.

    එසේ තිබියදීත් ඉන් ඔබ්බට ගොස් කඩිනම් මූල්‍යාධාර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකාව කරන ලද විශේෂ ඉල්ලීම සලකා බලන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතාට පවසා ඇත.

    ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදකාරී තත්ත්වය අවම කිරීම සඳහා දැනටමත් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්වූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉහළ පෙළේ ඉන්දීය ආර්ථික ක්ෂේත්‍රයේ දූත පිරිස ද ඊයේ(18) වොෂින්ටන් ඩීසී හි IMF මූලස්ථානයේදී මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා හමුවී තිබේත

    ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට අමාත්‍ය අලි සබ්රි මහතාට සීතාරාමන් මහත්මිය සහතික වී ඇත.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සංවර්ධනය ශක්තිමත් කිරීමට ඉන්දියාවේ කැපවීම පිළිබඳව ද එහිදී අවධාරණය කර තිබේ.

    විශේෂයෙන්ම විස්තීරණ අරමුදල් පහසුකමක් කඩිනමින් ලංකාවට ලබාගැනීම සඳහා IMF සමඟ ශ්‍රී ලංකාව කරන සාකච්ඡා සඳහා ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බව ඉන්දීය මුදල් අමාත්‍යවරයා ද අමාත්‍ය අලි සබ්රි මහතා වෙත තහවුරු කර ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බවට මෙම සාකච්ඡාවේදී සහතික වී ඇත.

    එමෙන්ම ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ද එහිදී ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

    අද (19) තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට තවදුරටත් කටයුතු යොදා ඇති බව මුදල් අමාතයාංශය කියයි.

    මෙම රැස්වීම් සඳහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද සහභාගී විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.