fbpx
තවත්
    මුල් පිටුවspecialරුහුණු මහා කතරගම දේවාලයේ අලුත් අවුරුදු චාරිත්‍ර

    රුහුණු මහා කතරගම දේවාලයේ අලුත් අවුරුදු චාරිත්‍ර

    සුබ මොහොතට වැඩ අරඹාලන, ආහාර අනුභව කරන, ගනුදෙනු කරන, නැදෑ හිතමිතුරුකම් අලුත්කරමින් පින්පෙත් වතාවත් සිදුකරන සිංහල අලුත් අවුරුදු දිනය උදාවනුයේ මේ මාසයේය.

    එකම මොහොතකට රටම වැඩකරන භාග්‍යවත් මාසය මේ බක් මාසයයි. පුරාණයේ පටන් පැවත ගෙන එන අලුත් අවුරුදු චාරිත්‍ර කළින් කළ වෙනස් වුවද රාජ නියමයෙන් සිද්ධස්ථානවල පැවැත්වීමට නියම කළ චාරිත්‍ර ඒ අයුරින්ම අදත් ඉටු වන ආකාරය අපට දක්නට හැකිය.

    සෙංකඩගල නුවර ශ්‍රි දළදා මාලිගාව හා සතර මහා දේවාල මුලික කොට උඩරට මෙම චාරිත්‍ර පවත්වනු ලබන අතර රුහුණු රට මෙම චාරිත්‍ර ඉටු වන්නේ රුහුණු මහා කතරගම දේවාලය මුලික කොට ගෙනය.

    රුහුණු කතරගම දේවාලයේ ආරම්භය පිළිබඳව විමසා බැලීමේ ජනප්‍රවාද වල සඳහන් වන්නේ අනුරාධපුර යුගයේ දුටුගැමුණු රාජ සමයේ දී එය සිදු වූ බවයි. ඒ අනුව කතරගම දෙවිඳුන් උදෙසා මැණික් ගඟ අසබඩ දෙවොල ගොඩනඟා එහි තේවා කටයුතු පිළිබඳ වගකීම නන්දිමිත්‍ර යෝධයාගේ පරපුරට කටගමුව ගම්වරය ද ලබා දෙමින් ප්‍රදානය කරන ලදී.

    එතැන් පටන් කතරගම දෙවිඳුන්ට උපහාර පිණිස අවුරුදු පෙරහැර මංගල්‍යය, ඇසළ මංගල්‍යය, ඉල් මහා කාර්තික මංගල්‍යය යන වාර්ෂික මංගල්‍යය චිරාගත සම්ප්‍රදායික චාරිත්‍රයක් ලෙස රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් නොකඩවා පවත්වා ගෙනවිත් තිබේ. ඒ අනුව කතරගම මහා දේවාලයේ වාර්ෂික මංගල්‍යයන් අතුරින් වර්ෂයේ ප්‍රථමයෙන් ම සමරනු ලබන්නේ අලුත් අවුරුදු මංගල්‍යය වේ.

    මෙම මංගල්‍යයේ දී දේවාලයේ ඇතුළු කට්ටලේ නිල රාජකාරිකරුවන් වන ප්‍රධාන කපු මහතා, පෙරහැර බලන කපුරාළ ඇතුළු කපු මහත්වරුන්, අනෙකුත් රාජකාරිකරුවන් ද පිටකට්ටලේ නිලරාජකාරිකරුවන් ලෙස බස්නායක නිලමේතුමා, මහබෙත්මේ, කුඩා බෙත්මේ ඇතුළු පිරිස චාරිත්‍ර ඉටු කිරීමේ පෙරමුණ ගනු ලබයි. දෙවියන් කරණ කොට ගෙන පවත්වන බැවින් ද, මංගල්‍ය කරුණක් බැවින් ද මෙහි සියලු චාරිත්‍ර සුබ නැකැත් වේලාවට අනුව ඉටු කරන අතර එම නැකැත් පිළියෙල කිරීම නැකැත් රාළ විසින් සිදු කරනු ලබයි.

    කතරගම දේවාලයේ අවුරුදු පෙරහැර මංගල්‍යයේ චාරිත්‍ර ආරම්භ වන්නේ නොනගතය හෙවත් පුණ්‍ය කාළයට පෙරය. ඒ අනුව නිල රාජකාරි අතුරින් දේවාලයට වළං සැපයීම බාරව ඇති බුත්තල කෝරලේ පණ්ඩිතගෙදර වත්තේ රාජකාරිකරුවන් විසින් කිරි ඉතිර වීම සඳහා අවශ්‍යය නැවුම් මුට්ටියක් රැගෙන එන අතර පුණ්‍ය කාලයට පෙරාතුව ගබඩාකාර රාළ රාජකාරි මණ්ඩලය පිරිවරාගෙන මැණික් ගඟේ දහයියා තොටුපලට ගොස් වතුර පුරවාගෙන පිරිවරින් පැමිණ දේවාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපස ගිනි දල්වන ලද ලිප මත තබයි.

    එම වතුර උතුරා ඒමට ප්‍රථමයෙන් දේවාලයේ රාජකාරි කණ්ඩායම් දෙකක් වූ ගොටුමහන පිළ හා ඌළියම් පංගුව විසින් අත්තන කොළ යුෂ මිශ්‍ර පොල් කිරි එම මුට්ටියට එක් කරනු ලැඹේ එසේ පොල් කිරි එක් කිරීමෙන් අනතුරු ගබඩකාර රාල මුට්ටිය තුන් පැත්තේ සඳුන් පරහද ගෑමෙන් (දේවාලයේ දී නළළේ තිලක තබන ආලේපය) හා තවත් චාරිත්‍ර ඉටු කිරීමෙන් රටට සහ ජනතාවට සෞභාග්‍ය හා සමෘද්ධිය උදා වන ලෙස ප්‍රාර්ථනා කරයි. උතුරා එන කිරි පළමුව දොරට ඉසීමෙන් අනතුරුව දේවාලයේ දොරටු වසා තබයි. ඒ අවස්ථාවේ දී ගබඩාකාර රාළ බස්නායක නිලමේතුමන්, කපුමහතුන් ඇතුළු රාජකාරි මණ්ඩලයට කිරි ඉස ආශිර්වාද කරයි.

    ඉන් අනතුරුව අලුත් අවුරුද්ද උදා වීමෙන් පසු එළැඹෙන සුබ නැකැත් වේලාවකින් දේවාලයේ දොරටු විවෘත කර පෙරහැර මංගල්‍යය සඳහා සුදානම් වෙයි. මංගල හස්තියාගේ පිට වත බැඳ දෙවිහාමුදුරුවන් වැඩම වීමෙන් පෙරහැර මංගල්‍යය ආරම්භ වේ. පෙරහැර වල්ලි අම්මා දේවාලය වෙත ගොස් නැවත ගෙවැදීමෙන් පසු තවත් චාරිත්‍රයක් ඉටු වේ. ඒ දැකුම් තැබීමේ චාරිත්‍රයයි.

    අතීතයේ දී වාර්ෂිකව නිලධාරීන් රජතුමා බැහැදැකීමේ දී ගෙන ගිය පඬුරු හැඳින්වූයේ ද දැකුම් යන නාමයෙනි. පුරාතනයේ දී රජුන් වෙනුවෙන් ඉටු කළ චාරිත්‍ර සියල්ල දෙවියන් වෙනුවෙන් ද ඉටු කිරීමට අණ කිරීම නිසා මෙවැනි චාරිත්‍රයක් ඇති වූ බව සිතිය හැකිය.

    මෙහිදී සිදු වන්නේ දේවාලයේ භාණ්ඩාගාරය හෙවත් අරමුදල සන්තකව පැවති පුද පඬුරු පිළිබඳ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමයි. අන් ලෙසකින් කිවහොත් දේවාලයේ වත්කම් ප්‍රකාශයයි. පුරාතනයේ දී දේවාලය සතු වටිනා භාණ්ඩ හා උපකරණ බස්නායක නිලමේතුමන් ඉදිරියේ ප්‍රදර්ශනය කොට මෙම වස්තූන් දේවාලයේ ඇති බව දිවුරා ප්‍රකාශ කරයි.

    අතීතයේ දී එසේ භාණ්ඩ ලේඛනය කියැවීමෙන් අනතුරුව දේවාලයට වැඩිපුර ලැබුණු වස්තු භාණ්ඩාගාරයේ තැබීමට ඉඩ මදි වීම නිසා මැණික් ගඟට ඇද දමාලූ බවක් කියැවේ. දැකුම් තැබීමේ චාරිත්‍රයේ දී පෙරහැර බලන කපුරාළ, ගබඩාකාර රාළ හා තේවේ කපු රාළ සමඟ නව වැඳුම් කරති. ඉන් අනතුරුව භාණ්ඩ රැගත් වට්ටිය බැතිමතුන්ට ප්‍රදර්ශනය වන සේ මිණිබැඳි මණ්ඩපයේ ඔබ මොබ යන පෙරහැර බලන රාළ, නිලමේතුමන් ඇතුළු රාජකාරි මණ්ඩලය මේ අවස්ථාවට පැමිණ ඇත්ද යන වග දේවාලයේ පණිවිඩකරුගෙන් විමසයි. එවිට සියලු දෙනා පැමිණ ඇති බව පණිවිඩකරු ප්‍රකාශ කිරීමෙන් අනතුරු පෞරාණික වාක්යයකින් දෙවොලට ලැබුණු ආදායම් ඉවත් කොට පෙරහර නිදහස් කිරීමට දේවල භුමිය නිදහස් කර ගත් ආකාරය ප්‍රකාශ කර, පට සළු සහ දඹ රත්‍රන් මාලා නවයක නම් කියා ඒවා ඔසවා පෙන්වා, දැකුම් තැබීම නිමා කරයි.

    මෙම වර්ෂයේ අවුරුදු පෙරහැර මංගල්‍යය වෙනුවෙනු චාරිත්‍ර ආරම්භ වන්නේ අප්‍රේල් 13 වන දිනය. ඒ අනුව පුණ්‍ය කාළයට ප්‍රථමයන් කිරි උතුරුවා දේවාලයේ දොරටු වසා තැබෙන අතර නැවත 2022 අප්‍රේල් මස 14 දින සවස 2.00 පමණ යෙදෙන සුබ මෙහොතින් දොරටු විවෘත කොට, එදින සන්ධ්‍යාවේ අවුරුදු පෙරහැර පවත්වා ඉන් අනතුරුව දැකුම් තැබීමේ චාරිත්‍රය ඉටු කරනු ලැබේ.

    මීට සමගාමී ව පවතින ආර්ථික තත්වය හමුවේ අසරණව සිටින කතරගම අවට පවුල් වෙත වසරේ දින 365 ම සහල් පරිත්‍යාග කිරීමේ මහඟු පුණ්‍යකර්මයක් කතරගම මහා දේවාලය විසින් ආරම්භ කොට ඇත. කතරගම දෙවිඳුන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සහල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනට දායකත්වය ලබා දීමට කැමති පරිත්‍යාගශීලින්ට 047 -2235122 සහ 0765500500 යන දුරකථන අංක ඔස්සේ කතරගම දේවාලයේ ප්‍රධාන කාර්යාලය අමතා වැඩිදුර තොරතුරු විමසිය හැකිය.

    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමු! කඳ සුරිඳු පිහිටයි!

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.