fbpx
තවත්
    මුල් පිටුවGOSSIPධම්මික පෙරේරා ට වඩා නම් මුදල් ඇමතිකමට නන්දලාල් වුවද හොඳය

    ධම්මික පෙරේරා ට වඩා නම් මුදල් ඇමතිකමට නන්දලාල් වුවද හොඳය

    පත්වීම ලැබ පැය 24ක් ගතවන්නටත් මත්තෙන් අලි සබ්රි සිය මුදල් ඇමති ධුරයෙන් සමුගත්තේය. අලි සබ්රි ඉදිරිපත් කළ ලිපියේ පළවන ඉඟියක් තිබේ. ඒ ඔහු තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වුවද, පිටතින් මේ තත්ත්වය කළමනාකරණය කරන අයකු වෙනුවෙන් පිරිනැමීමට කැමති බවය.

    අලි සබ්රි මහතා මුදල් අමාත්‍ය ලෙස වැඩ භාර ගත් අවස්තාව

    මේ ලියවිල්ල පිටුපස සිටින්නේ කවුද යන්නත්, සිදුවන්නට යෝජිත වන්නේ කුමක්ද යන්නත් තේරුම් ගැනීමට අලි සබ්රිගේ වචනම ප්‍රමාණවත්ය. රටේ පවතින තත්ත්වය පාලනය කර ගැනීමට මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය පිරිනැමිය යුත්තේ ධම්මික පෙරේරාට බවට ප්‍රචාරයක් ගෙන ගියේ ද මේ ලියැවිල්ල පිටුපස සිටින පිරිසම විය යුතුය.

    අලි සබ්රි එදා අධිකරණ අමාත්‍ය ධුරයට පත්වන බව මුලින්ම රටට කීවේ ජනපති ගෝඨාභය නොව ඔහුගේ කළණ මිතුරකු වූ ව්‍යාපාරික දිලිත් ය. සමාජ මාධ්‍යයෙන් දිලිත් කලින්ම කී ප්‍රවෘත්තිය පසුව සැබෑවිය. බැසිල්ගෙන් ගැල වූ මුදල් ඇමතිකමට අලි සබ්රි පත්වූයේ ද එවැනි කියමනකට ද යන්න සැක සහිතය.

    දිලිත් ජයවීර

    ඒ කෙසේ වෙතත් ජනතාව සමඟ කරන බිස්නස් එක නම් ගෝඨාභයට පාඩු කළේ මෙවැනි උපදෙස්ය. සිංහල බෞද්ධයන් පමණක් තමන්ට ඡන්දය දුන් බව කී ගෝඨාභය ජනාධිපති මුලින්ම අධිකරණ ඇමැති ධුරය ම අලි සබ්රිට දෙන විට ජනතා විරෝධයක් පැන නැගිනි. නමුත් එය එතරම් දුරදිග ගියේ නැත.

    අද අලි සබ්රි ඉවත්වනවිට, මුදල් ඇමතිකමට ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් ගෙනඒමේ කපුකමක් වන්නටත් බැරි නැත. කලක් තමන්ට එරෙහි පොදු අපෙක්ෂකයා වීමට ගිය ධම්මික මුදල් ඇමතිකමට පත්කිරීම යනු රට්ටු හිනස්සන වැඩකි. ධමිම්ක ද බෑ නොකිය යාලු මාලු ව්‍යාපාරිකයන්ගේ කරමතින් එතැනට ඒමට පාර කපා නොගන්නේ නම් පුදුමය.

    ධම්මික පෙරේරා මහතා

    පිටකොටුව මල්වත්ත පාරට යාබදව ඇති කේසර් වීදියේ බෑග් කඩයක් කරගෙන ගිය ධම්මික, සිය මහා පරිමාණ ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ එම කඩේදී මුණ ගැසුණු ජර්මන් ජාතිකයකු නිසාය. ජර්මන් ජාතිකයා ධම්මිකට හඳුන්වා දුන්නේ රෙජිනෝ නැමැති සූදු වයාපාරයකි. ධම්මික ඔලුව උස්සන්නේ රෙජිනෝ වලිනි. ධමිම්ක අද ඒ කතාව ප්‍රතික්ෂේප කළ ද ජැක්පොට් යන්ත්‍ර කිහිපයක් මිලට ගෙන ඒවායින් ආදායම් උපයන්ට පටන් ගත් කතාව ප්‍රසිද්ධියේ නොකියන්නේ නැත.

    එතැන් පටන් ධමිමක ගැන කියන්නට නම් ඕනෑතරම් දෑ තිබේ. කොල්ලුපිටියේ සරණපාලගේ පටන්ද, කැසිනෝවලට අත දුන් නලීන්ගේ පටන් ද ධම්මිකගේ අතවැසියන් ගැන ඕනෑ තරම් තොරතුරු අතීතයේ ප්‍රසිද්ධ විය. කැසිනෝ නිසා පමණක් නොව රතුපස්වල සිද්ධියටත්, 2019 එංගලන්තයෙන් රෝහල් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 130ක් රැගෙන ඒමත්, දිලිත් සමඟ එක්ව නුගේගොඩ උඩහමුල්ල ශ්‍රී විජයාරාම මහා විද්‍යාලයේ ගේට්ටුවේ ඉබියතුරු කඩාගෙන ඇතුළු වීමත් සම්බන්ධයෙන් මෑතකදිත් ධම්මික ගැන කතාබහට ලක්විය.

    කොළඹ කැසිනෝ රජකු රටක මුදල් ඇමති කමට පත්කර ගැනීමට වඩා දැන් මහ බැංකු අධිපතිධුරයට කැමැත්තෙන් පැමිණෙන, ආචාර්ය අජිත් නන්දලාල් වීරසිංහ වැනි අයෙකු වුවද මුදල් ඇමතිකමකට සුදුසුකම් ඇත්තෙකි යන්න ජනතාව වුවද පිළිගන්නවා ඇත.

    සහන් රතනසේකර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.