fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්GMOA සියලුම ශාඛා සමිති හෙට කොළඹට කැඳවයි

    GMOA සියලුම ශාඛා සමිති හෙට කොළඹට කැඳවයි

    හෙට දින පැවැත්වෙන සිය සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා සියලු ශාඛා සමිති කොළඹ පිහිටි සිය මූලස්ථානයට කැඳවා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ ඇතිවිය හැකි ඖෂධ සහ උපකරණ හිඟය සම්බන්ධයෙන් කල්තියා පූර්ව ක්‍රියාමාර්ග සකස් කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට ඔවුන් අසමත් වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    මෙම තත්ත්වය පෙන්වා දී අවශ්‍ය උපරිම බලපෑම කිරීමටත් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමත් හෙට පැවැත්වෙන රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.

    තවද හෙට දින රැස්වෙන මධ්‍යම කාරක සභාව මේ මොහොතේ රට තුළ උද්ගතව ඇති අවිනිශ්චිත සහ අර්බුදකාරී වාතාවරණයත්, ජනතාවගේ දැඩි විරෝධයත් හමුවේ රජය හදිසි අවස්ථා නීති පැමිණවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා කොට ඒ පිළිබඳ තීන්දු තීරණ ගැනීමට නියමිතය.

    රට තුළ ඉදිරියේ ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයක් හමුවේ සියලුම වෛද්‍යවරුන් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා ඕනෑම අවස්ථාවක රෝහල් පද්ධතිය තුල සූදානම් කර තැබීමට වැඩපිළිවෙළක් සැකසීමට කටයුතු කරන අතර ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා ඕනෑම මොහොතක ඉදිරිපත් වීමට සියලු සාමාජිකයින් සූදානම්ව සිටින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියාසිටී.

    නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසුවේ එම ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට රෝගීන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා කප්පාදු කිරීමට සිදුවීමෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට පත්වීමේ වටපිටාවක් සැකසී ඇති බවය.

    මේ වන විටත් රෝහල් තුල අඛණ්ඩව හා ගුණාත්මකව රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාම අපහසුතාවයට පත්ව ඇති බවත් එහිදි අත්‍යවශ්‍ය හා රෝගී ජිවිත බේරා ගැනීම සඳහා භාවිතා කරන ඉතා වැදගත් ඇතැම් ඖෂධවල බරපතල හිඟය, විදුලි කප්පාදුව හමුවේ විදුලි ජනක යන්ත්‍ර මගින් රෝහලේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන හිඟය, රසායනාගාර වාර්ථා නිකුත් කිරීමට අත්‍යවශ්‍ය රසායන ද්‍රව්‍ය සහ අනෙකුත් අවශ්‍ය උපකරණ හිගය මෙන්ම විදුලිය සහ ඖෂධ හිගය නිසා ශල්‍යාගාර කටයුතු ඇණහිටීම ආදී ගැටලු රාශියක් පිළිබඳ සිය ශාඛා සංගම් කරුණු දක්වා ඇති බව නිවේදනයේ සඳහන් ය.

    සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් පත්‍ර මගින් නම් කලද, එම සේවාව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ ලබාදීමට රජය අපොහොසත් වේ නම්,ඉන් බිඳවැටෙන සෞඛ්‍ය සේවාවේ සම්පූර්ණ වගකීම රජය බාරගත යුතු බව ද එම සංගමය අවධාරණය කර සිටී.

    සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ සෞඛ්‍ය බලධාරීන් රජයේ දුර්වල මුල්‍ය කළමනාකරණය හා ආර්ථික අර්බුදය හමුවේ උද්ගත වන දැඩි ඖෂධ හිඟය සඳහා මුහුණ දීමට කිසිදු සැලසුමක් සකසා නොමැති බව එම සංගමය කියයි.

    දැඩි ඖෂධ හා උපකරණ හිඟය හමුවේ කප්පාදු කිරීමට සිදුවන සේවාවල දී පවා රෝගී ජීවිත රැක ගැනීමටත්, බෝ නොවන රෝග වලින් පෙළෙන රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ රෝහල් පද්ධතිය තුළ කළමනාකරණය කරගැනීමටත් හැකි ආකාරය පිළිබඳ අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ කරන ලෙස අපගේ ශාඛා සමිති වෙත අප දන්වා ඇති අතර, හෙට දින රැස්වෙන හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳ තවදුරටත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.