fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගිය වසරේ අපනයනවලින් ඩොලර් බිලියන 12ක ආදායමක්

    ගිය වසරේ අපනයනවලින් ඩොලර් බිලියන 12ක ආදායමක්

    කුරුඳු, ගමිමිරිස්, එනසාල් ඇතුළු සුළු අපනයන බෝග වර්ගවලින් ඉකුත් වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 450ක ආදායමක් උපයා ඇතැයි වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    එමෙන්ම මෙම වසරේදී වැවිලි කේෂ්ත්‍රයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 600ක පමණ ආදායමක් අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

    අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මාතලේ, උකුවෙල ප්‍රදේශයේ ඉදිරකන ලද කුළුබඩු මන්දිරය හා නව තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ මේ බව පැවසීය.

    මෙහිදී රන්වැලි යසස් ශ්‍රී නාමයෙන් යුතු නව එනසාල් ප්‍රභේදයක් හඳුන්වාදීම හා ප්‍රදේශයේ කුළුබඩු ආශ්‍රිත වගාකරුවන්ට සහනාධාර ප්‍රධානය කිරීමක්ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    “කුරුඳු, ගම්මිරිස්, එනසාල් ඇතුළු සුළු අපනයන බෝග වර්ග අපනයන කිරීමෙන් ඉකුත් වසරේදී මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 450 ක ආදායමක් උපයා දී තිබෙනවා. අපිට තවදුරටත් සුළු අපනයන බෝග කේෂ්ත්‍රය නොසලකා හරින්න බැහැ. ඒ නිසා ඉදිරියේදී මේ ආදායම තවත් වර්ධනය කරගන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය විශාල වෙහෙසක් දරනවා.

    මුතු,මැණික්, ඇඟළුමි,වැවිලි කර්මාන්තයේ සියලුම අංශයන්ගෙන් අප ඉකුත් වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 12ක ආදායමක් ලබා තිබෙනවා. ඒ ආදායමෙන් සියයට 30ක අපනයන ආදායමක් රටට උපයා දී තිබෙන්නේ වැවිලි කර්මාන්ත කේෂ්ත්‍රයෙන්. යහපත් ප්‍රවණතාවයක් තිබුනොත් මෙම වසරේදී වැවිලි කේෂ්ත්‍රයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 600 ඉක්මවූ ආදායමක් අපේක්ෂා කරනවා.

    ඉතිහාසයේ පළමුවතාවට අපේ රටේ කුරුඳු සඳහා යුරෝපා සංගමයේන් භූගෝලීය දර්ශකයක් ලියාපදිංචි සහතිකයක් ලැබුණා. අපි එය සෑහෙන කාලයක් බළාපොරොත්තුවෙන් හිටිය දෙයක්. එමෙන්ම වැවිලි කළමණාකරණ හා පර්යේෂණ විශ්ව විද්‍යාලක් ස්ථාපිත කරන්න යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. අපේ රටේ ගොවි මහත්වරුන්ට විදේශ වෙළඳපොළ පිළිබඳව අත්දැකීම් නැහැ. මෙවැනි විශ්ව විද්‍යාල පිහිටුවීම මඟින් අනාගත පරපුරට වැවිලි කේෂ්ත්‍රය පිළිබඳ දැනුම බෙදාහදාගන්න පුළුවන්.

    ප්‍රධාන වගාවන්ට අමතරව කිතුල් සඳහාත් ලෝකයේ හොඳ ඉල්ලුමක් තිබෙනවා. නමුත් අපි ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. ඉතිහාසයේ පළමු වතාවට කිතුල් ගසත් වැවිලි බෝගයක් වශයෙන් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරන්න වත්මන් රජය කටයුතු කළා. එමෙන්ම කිතුල් සඳහා ශ්‍රී ලංකා තත්ත්ව සහතිකය ලබාදී තිබෙනවා. ඉදිරියේදී කිතුල් නිෂ්පාදන නියාමනය කරන්න කටයුතු කරනවා. කිතුල් නිෂ්පාදන අපනයන කිරීමෙනුත් ඉදිරියේදී රටට විශාල අපනයන ආදායමක් උපයාගත හැකිවනු ඇතැ”යිද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරත් සඳහන් කළේය.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ,සුළු අපනයන බෝග ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, වැවිලි අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.ඩී පාඬිකෝරාළ, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහත්වරුන්ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ.පී.පී දිස්නා මෙනවිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.