fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෙබරවාරියේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ ගිහින්

    පෙබරවාරියේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ ගිහින්

    ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය පෙබරවාරි මාසයේ දී මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වන 17.5% දක්වා ඉහළ ගොස් තිබේ.

    ජනවාරි මාසයේදී එය සටහන් වූයේ 16.8%ක් ලෙසයි.

    මේ බව අනාවරණයය වී ඇත්තේ ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව මගින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය මගිනි.

    2022 පෙබරවාරි මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 17.5%ක් බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් මෙම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    2022 ජනවාරි මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 16.8%ක් ලෙස වාර්තා විය. 2022 පෙබරවාරි මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 11.7%ක හා ආහාර නොවන කාණ්ඩයේ 5.8%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත.

    එහෙත් 2021 පෙබරවාරි මාසයේ 4.2%ක්වූ මතුපිට උද්ධමනයට ආහාර කාණ්ඩයේ දායකත්වය 3.2%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 1.0%ක් විය.

    2021 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2022 පෙබරවාරි මාසයේ උද්ධමනය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර හා ආහාර නොවන කාණ්ඩවල පැවති ඉහළ මිල මට්ටම් ය.

    ඒ අනුව, ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2022 ජනවාරි මාසයේදී 24.4% සිට 2022 පෙබරවාරි මාසයේදී 24.7% දක්වා වැඩි වූ අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2022 ජනවාරි මාසයේදී 10.2% සිට 2022 පෙබරවාරි මාසයේදී 11.0% දක්වා වැඩි විය.

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කලවිට, 2022 ජනවාරි මාසයේ 166.0ක් වූ දර්ශකාංකය 2022 පෙබරවාරි මාසයේ 167.8ක් දක්වා වැඩිවීමක් වාර්තා විය. පසුගිය මාසය හා සංසන්දනය කලවිට 2022 පෙබරවාරි මාසයේ දර්ශකාංකය 1.8ක වැඩිවීමක් එනම් 1.1ක ප්‍රතිශතකාංක වැඩිවීමක් වාර්තා විය.

    මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ දර්ශක අගය 0.59%කින් වැඩිවීම සහ ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය 0.49%කින් වැඩිවීම දායක වී ඇත.

    ආහාර කාණ්ඩය සැළකූවිට සහල්, මයිසූර් පරිප්පු, කිරිපිටි, පළතුරු, පොල්, මිරිස් කුඩු, තිරිඟු පිටි, රතු ළූණු, පොල්තෙල්, අළුත් මාළු, කරවල, වියළි මිරිස්, කුකුළ් මස්, තුනපහ කුඩු, පාන්, සීනි සහ ළදරු කිරිපිටි යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් වාර්තා විය. කෙසේ වෙතත් එළවළු, බිත්තර, දෙහි, අමු මිරිස්, ලොකු ළූණු සහ අර්තාපල් යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී ඇත.

    පසුගිය මාසය හා සංසන්දනය කලවිට, 2022 පෙබරවාරි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය වැඩිවීම සඳහා ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’ (බුලත්), ‘රෙදිපිළි හා පාවහන්’, ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’ (දර), ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’, ‘ප්‍රවාහන’ (පෙට්‍රල්, ඩීසල්, වාහන සේවා ගාස්තු හා බස් ගාස්තු), ‘විනෝදාත්මක හා සංස්කෘතික’, ‘ආපනශාලා සහ හෝටල්’ සහ ‘විවිධ භාණ්ඩ හා සේවා’ යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. එසේ වුවත් පසුගිය මාසය හා සංසන්දනය කලවිට ‘සෞඛ්‍ය’, ‘සන්නිවේදන’ සහ ‘අධ්‍යාපන’ කාණ්ඩවල දර්ශක අගය වෙනසක් වී නොමැත.

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්‍ෂ්‍යමය වෙනස්වීම් පදනම්ව නිතර මිල උච්චාවචනය වන ආහාර වර්ග, බලශක්ති සහ ප්‍රවාහන අයිතමයන් ඉවත් කිරීමෙන් පිළිඹිඹු වන යටිදැරි උද්ධමනය (Core Inflation) 2022 ජනවාරි මාසයේ 12.9% සිට 2022 පෙබරවාරි මාසයේ 14.1% දක්වා වැඩිවීමක් වාර්තා විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.