fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සීඝ්‍රයෙන් දියුණුවන බංග්ලාදේශ සිල්ලර වෙළඳපොළට Softlogic පිවිසෙයි

    සීඝ්‍රයෙන් දියුණුවන බංග්ලාදේශ සිල්ලර වෙළඳපොළට Softlogic පිවිසෙයි

    බංග්ලාදේශයේ පිහිටුවූ පළමු සුපිරි වෙළෙඳසැල මෙන්ම එරට දෙවන විශාලතම සුපිරි වෙළඳසැල ද වන Agora Ltd මුළුමනින්ම අත්පත් කර ගනිමින්, සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින බංග්ලාදේශ සුපිරි වෙළඳසැල් ජාලයට Softlogic Holdings Plc (SHL) පිවිස තිබේ.

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන්කරන ආකාරයට ඊට අනුබද්ධ Softlogic Retail Holdings Ltd විසින් බංග්ලාදේශයේ Agora සුපිරි වෙළෙඳසැල් ජාලය 100% කින් අත්පත් කර ගැනීම සඳහා විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් තබා ඇත. ‍

    මේ අනුව Agora මගින් මෙතෙක් ක්‍රියාත්මක වූ සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිසැල්, වට්ටම් අලෙවිසැල් මෙන්ම සිල්ලර අලෙවිසැල් ජාලයෙහිම පූර්ණ මෙහෙයුම්,අලෙවි, විකිණුම් සියල්ල Softlogic Retail Holdings Ltd විසින් ක්‍රියාත්මක කරනු ඇත.

    බංග්ලාදේශයේ Agora සතුව විවිධ පරිමාණයෙන් යුත් සුපිරි වෙළඳසැල් 18ක් පිහිටා තිබේ. ඒ ඩකාහි 15ක්, සිල්හෙට්හි දෙකක් සහ චිතගොං හි එක් සුපිරි වෙළඳසැලක් වශයෙනි.

    Agora අත්පත් කර ගැනීම එහි දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව ගනුදෙනු මාලාවක් හරහා සිදුවනු ඇත.

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ සභාපති අශෝක් පතිරගේ මහතා

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී පවසන පරිදි Softlogic Retail Holdings විසින් මෙහෙයවනු ලබන්නේ සමූහයේ ජවසම්පන්තම සහ ආක්‍රමණශීලී සිල්ලර අංශය බවයි. ඊට ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළඳාම වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බහු-සන්නාම සහ බහු-නාලිකා උපාය මාර්ගික සහයෝගීතාවය ඇතුළත් වේ. Softlogic Retail Holdings මෙහෙයුම්වලට සන්නාමගත ඇඟලුම්, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකථන කොටස්, සිල්ලර හා බෙදාහැරීම්, සුපිරි වෙළඳසැල් සහ ක්ෂණික සේවා අවන්හල් ඇතුළත් ය.

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සිල්ලර අංශය විසින් සමස්ත සමූහයේ ආදායම 54% ක් හෝ 2022 මුදල් වර්ෂයේ පළමු මාස ​​නවය තුළ රුපියල් බිලියන 45 ක් ලෙස ගණනය කර තිබේ.

    තුන්වන කාර්තුව තුළ සිල්ලර අංශයේ ආදායම 44% ක ශක්තිමත් වර්ධනයක් සමඟින් රු. බිලියන 16.9 ක් වනවි‍ට සමුච්චිත පිරිවැටුම් අගය 49% කින් රු. බිලියන 45.3 ක් විය. සමුච්චිත අංශයේ පොලී, බදු, ක්ෂයවීම් සහ ක්ෂයවීම්වලට පෙර ඉපැයීම් 88% කින් රු. බිලියන 4.3 ක් දක්වා ඉහළ ගිය අතර කාර්තුවේදී සිල්ලර අංශය සඳහා 94% කින් රු. බිලියන 2.3 ක් වි තිබිණ. සමුච්චිත බදු ගෙවීමෙන් පසු ලද ලාභය කැපී පෙනෙන ලෙස වාර්තා වීමත් සමඟ සිල්ලර අංශය තවත් ශක්තිමත් ප්‍රගතියක් අත්විය. ඒ 2021 මුදල් වර්ෂයේ 1-3 කාර්තුවලදී සිදුවූ බිලියන 1.96ක පාඩුව හා සැසඳීමේදී පෙර වසරට සාපේක්ෂව රුපියල් මිලියන 441.1 ක වාර්තාගත අදායමක් සමගිනි.

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් අදාළ තොරතුරුවලට බංග්ලාදේශ සුපිරිවෙ‍ළඳසැල් අත්පත් කර ගැනීමේ ඇස්තමේන්තුගත පිරිවැය ඇතුළත් වී නැත. නම් නොකළ ආයෝජන

    බැංකු මූලාශ්‍ර උපුටා දක්වමින් බංග්ලාදේශ මාධ්‍ය ආයතනයක් වන ‘ද බිස්නස් ස්ටෑන්ඩර්ඩ්’ සඳහන් කරන්නේ මෙම ගනුදෙනුව Tk 181 (රු. බිලියන 4.5) සහ Tk 249 (රු. බිලියන 6.2) අතර විය හැකි බවයි.

    කෙසේවෙතත් Agora හි 72% ක කොටස් හිමිකාර පාර්ශ්වයව සිටි, බංග්ලාදේශය කේන්ද්‍ර කරගත් ප්‍රථම පුද්ගලික කොටස් අරමුදල වන Frontier Fund, Brummer & Partners (බංග්ලාදේශය) හි ආරම්භක හවුල්කරු සහ ප්‍රධාන විධායක නිලධාරී සහ කාලිඩ් ක්වාදිර් මෙම ගනුදෙනුවට අදාළ කිසිදු වටිනාකමක් හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු ඒ පිළිබඳ පවසා තිබුණේ මෙවැන්නකි. “දශකයකට පෙර අපගේ ආයෝජන මගින් බංග්ලාදේශයේ ව්‍යාපාර සහ අංශයේ වර්ධනයට ඉවහල් විය. කෙසේවෙතත් ජාත්‍යන්තර පුද්ගලික කොටස් ආයෝජනයේ ස්වභාවය නිසා අපට දැන් ඉවත්වීමට සිදුව තිබේ.”යැයි ඔහු පැවසීය.

    සොෆ්ට්ලොජික් හට ICT, සෞඛ්‍ය සේවා, සිල්ලර වෙළඳාම, මුල්‍ය සේවා, මෝටර් රථ සහ විනෝදාස්වාද කර්මාන්ත යන ක්ෂේත්‍රවල ඉතා ශක්තිමත් ගමන්මඟක් සහ විශේෂඥ දැනුමක් ඇත.

    එබැවින් ඉදිරියේදී සොෆ්ට්ලොජික් විසින් සිල්ලර වෙළඳාම් ජාලගත ව්‍යාපාරයට සැලකිය යුතු වටිනාකමක් එක් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ක්වාදිර් පවසා ඇත.

    බංග්ලාදේශයේ අගනුවර කේන්ද්‍ර කර ගනිමින් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ඉහළ මධ්‍යම පාන්තිකයින්ට කිසිදු අපහසුවකින් තොරව නවීන සිල්ලර භාණ්ඩ මිලදී ගැනීම සඳහා සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් එරට පැරණිතම ව්‍යාපාරික සමූහයක් වන රහීමාෆෲස් විසින් එවකට රයිෆල්ස් චතුරශ්‍රයේ දී Agora හි පළමු සුපිරි වෙළඳසැල විවෘත කළේය. පසුව එය ෂිමැන්ටෝ චතුරශ්‍රය ලෙස 2001 වසරේදී නම් කරන ලදී.

    බංග්ලාදේශ ජාතිකයන්ගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2,000 ඉක්මවයි. නවීන සිල්ලර වෙළඳාම බොහෝ සෙයින් සමෘද්ධිමත් වීමට බංග්ලාදේශය තුළ සාධාරණ හේතු පවතී. එබැවින් බොහෝ ගනුදෙනුකරුවන් අපේක්ෂා කරන භාණ්ඩ පහසුවෙන් ලබාගැනීම, සොයා ගැනීමේ හැකියාව සහ ප්‍රමිතිය පිළිබඳ සහතිකයට වඩාත් ආකර්ෂණය වන බව මෙම ක්ෂේත්‍රයේ ඇතැමුන්ගේ අදහසයි.

    සාර්ථක ශ්‍රී ලාංකේය ආයෝජකයා වන සොෆ්ට්ලොජික් විසින් එම අංශයේ විභවයන් විශ්ලේෂණය කර තිබිය යුතු බව බංග්ලාදේශ සුපිරි වෙළඳසැල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සකීර් හොසේන් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.