fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුක්රේනයේ - බෙලරුස්හි ලාංකිකයන්ට විශේෂ පණිවිඩයක්

    යුක්රේනයේ – බෙලරුස්හි ලාංකිකයන්ට විශේෂ පණිවිඩයක්

    යුක්රේනයේ ඉතිරිව සිටින, පෝලන්තය හරහා මෙරටට පැමිණීම සඳහා පෝලන්ත දේශසීමාව වෙත ළඟා වන ශ්‍රී ලාංකිකයන් වෙත මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම් දීමක් කර සිටියි.

    ඒ එවැනි ලාංකිකයන් වෙතොත් පහත සඳහන් ක්ෂණික දුරකතන අංක ඔස්සේ වෝර්සෝ හෝ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙස ය.

    දුරකථන: (වොර්සෝ) +48 795 031 376, +48 536 229 694; (අන්කාරා) +90 534 456 94 98, +90 312 427 10 32

    එමෙන්ම ගොමෙල් රාජ්‍ය වෛද්‍ය විශ්විද්‍යාලයේ සහ බෙලරුසයේ ග්‍රොඩ්නෝ රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට තාවකාලික ලෙස ස්වේච්ඡාවෙන් මෙරටට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා විදේශ අමාත්‍යංශය මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී කටයුතු කරයි.

    ඉහත විශ්වවිද්‍යාල දෙකෙන් තාවකාලිකව ඉවත්ව මෙරටට පැමිණීමට කැමති සිසුන්ට අවැසි තොරතුරු ලබාගැනීම සහ සහය පැතීම සඳහා පහත දුරකතන අංකය හරහා මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැක.

    දුරකථන: +79 80 144 5726

    දේශසීමා සහිත රටවලට ඇතුළු වන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්/ සිසුන් පහත සඳහන් දෑ ඔවුන් සතුව තබාගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටි.

    • වලංගු විදේශ ගමන් බලපත්‍ර /ගමන් ලේඛන;
    • තාවකාලික ගමන් ලේඛනයක් (විදේශ ගමන් බලපත්‍රයක්) අවශ්‍ය නම්, උප්පැන්න සහතික, විදේශ ගමන් බලපත්‍රවල පිටපත් වැනි හඳුනාගැනීමේ ලේඛන;
    • දේශසීමාවේ දිගු කාලයක් රැඳී සිටීමට සිදුවන හෙයින් ආහාර, ජලය සහ ඖෂධ ප්‍රමාණවත් ලෙස තබාගැනීම

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්/ සිසුන්ගේ ආරක්ෂාව සහ ඔවුන් ඉවත් කරගැනීමේ කටයුතුවල තත්ත්වය පිළිබඳ තොරතුරු, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ පවුල්/දරුවන් වෙත යාවත්කාලීන කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී සිටියි.

    වැඩිදුර විමසීම් සඳහා පහත සඳහන් ක්‍රමවේද ඔස්සේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ විය හැකි ය.

    දුරකථන: +94 11 233 8837, +94 11 233 5942
    විද්‍යුත් ලිපිනය: [email protected]

    යුක්රේනයේ සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ සිසුන් ආරක්ෂිතව ඉවත් කරගැනීමට පහසුකම් සැලසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අන්කාරා සහ වෝර්සෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සමීපව සම්බන්ධ වී කටයුතු කරයි.

    යුද ගැටුම් ආරම්භ වීමට පෙර ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු යුක්රේනයෙන් පිටත්ව ගිය අතර, එතැන් සිට විදේශ අමාත්‍යංශය අන්කාරා සහ වෝර්සෝ හි පිහිටි විදේශ දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් පෝලන්ත දේශසීමාව හරහා තවත් ශ්‍රී ලාංකිකයන් 32 දෙනෙකු යුක්රේනයෙන් ඉවත් කරගැනීම සඳහා පහසුකම් සලසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.