fbpx
තවත්
    මුල් පිටුවජීවන රටාවආතරයිටීස් රෝගයෙන් මිදීමට ආයුර්වේදයෙන් සහනය

    ආතරයිටීස් රෝගයෙන් මිදීමට ආයුර්වේදයෙන් සහනය

    ආතරයිටීස් කියන්නේ අද වන විට සුලබව දක්නට ලැබෙන රෝගයක්. මෙම රෝගය මූලික අවධිය තුළම හඳුනාගෙන නිසි ප්‍රතිකාර රටාව වගේම විහරණ රටාව ආහාර පාන, නිවැරදි සෞඛ්‍ය සම්පන්න ගැනීම තුළ රෝගයෙන් මිදීමට ඔබට හැකි වනවා.

    රූමට්ක් සන්ධි ප්‍රදාහය ( Rheumatoid Arthristis ) වර්තමානය බොහෝ කතාබහට ලක්වන රෝගයක් වෙලා තියෙනවා.

    අස්ථි අතර පවතින සන්ධි වල ඇතිවන ප්‍රදාහක තත්වයක් නිසා ඇතිවන මේ රෝගයෙහි ප්‍රධාන ලක්ෂණ ලෙස සන්ධි ඉදිමීම සන්ධි වල ඇතිවන වේදනාව වගේම තද ගතිය , උණ, ආහාර අරුචිය වෙනවා.

    Arthritis joint pain problem in old man
    Arthritis joint pain problem in old man

    cropped view of senior woman having Arthritis in hand in apartmentනිසි අවස්ථාවේදී රෝගය හඳුනාගෙන ප්‍රතිකාර නොගැනීම නිසා කල් ගතවීමේදී අස්ථි වල ඇදවීම විකෘතිතා හා සිරුරේ වෙනත් අවයවයන් ( ඇස්, හෘදය ආදී ) වලට ද හානි සිදු වීමට පුළුවන්.

    සන්ධි ආශ්‍රිතව බහුලවම ඇතිවන රෝග තත්ත්වයන් තුනක් ආයුර්වේදයෙහි දැක්වෙනවා.
    සන්ධිගත වාත.
    ආමවාත.
    වාතරක්ත.

    මේ රෝගවලින් ආමවාත රෝගය රූමැට්ක් සන්ධි ප්‍රදාහය ( Rheumatoid Arthristis ) සමපාත කරන්න පුළුවන්. ආමයෙන් දූෂිත වාතය යනුවෙන් මේ රෝගයට “ආමවාතය” නම ලැබී ඇත.

    ආයුර්වේදයට අනුව සිරුරේ සියලු ක්‍රියාවන් පාලනය කරනුයේ වාත, පිත්ත, කඵ යන ත්‍රිදෝෂය මඟිනි. මේ දෝෂයන් සමබරව සිරුර තුළ පවතින විට සිරුරේ නිරෝගී බව රැකෙන අතර සමබරතාවයෙහි සිදුවන යම් වෙනස්කමකින් රෝගය හට ගන්නවා .

    මෙම රෝගය ඇතිවීමට මූලය වන්නේ ඉහත කී දෝෂයන්ගෙන් සමතුලිතතාවය බිඳී යාම නිසා ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන සංකූලතාවයක්. අප ගන්නා ආහාර ආහාර පාන ජීර්ණය කිරීමෙන් පසුව එම ආහාර වල ඇති පෝෂක කොටස් සිරුරට අවශෝෂණය කරනු ලබන්නේ ආහාර ජීර්ණ පද්ධතිය මගින්. මේ ක්‍රියාව නිසි පරිදි සිදු නොවීම නිසා අර්ධ වශයෙන් ජීර්ණයට ලක් වූ එකතුවීම “ආමය” නම් වන විෂ පදාර්ථය නිපදවීම් සිදු වනවා. මේ ආමය මගින් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රය කර පවතින වාත දෝෂය දූෂණය කරනවා. එම දූෂිත වාත දෝෂය හා එක්වූ ආමය රුධිරයට එකතු වී ඒ හරහා සිරුරේ අස්ථි සන්ධි කරා ගොස් ඒවායේ තැන්පත් වෙලා “ආමවාත” රෝගය ඇති කරනවා.

    රෝගයේ මූලික අවස්ථාවේදී පහත රෝග ලක්ෂණ දකින්නට පුළුවන්. අංගමර්ද (සිරුරේ විවිධ ස්ථානවල ඇති වේදනාව) , ආහාර අරුචිය, අධික පිපාසය, අලස බව, උණ , අජීර්ණ ලක්ෂණ (උදර වේදනා) , සන්ධිවල තද බව , සන්ධි වල ප්‍රදාහාත්මක ලක්ෂණ (සන්ධි ඉදිමුම, රතු වීම, උෂ්ණත්වය වැඩි වීම, අධික වේදනාව) ,

    මීට අමතරව
    නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය, අධිකව කටට කෙළ ඉනීම, ඔක්කාරය, වමනය, මළ බද්ධය, විටින් විට බඩ පුරවා දැමීම ලක්ෂණද එන්න පුළුවන්.

    මේ රෝගය සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර පැවතියද මූලික අවස්ථාවේදීම ඒ සඳහා යොමුවන රෝගීන් පිරිස ඉතා අඩු බැවින් මේ රෝගය සදහා ආයුර්වේද ප්‍රතිකාර වල සඵලතාවය අත්විඳිනුයේ ඉතා අඩු ප්‍රමාණයක්.

    cropped view of senior woman having Arthritis in hand in apartment

    ආමවාත රෝගයට ප්‍රතිකාරක කිරීමේදී බොහෝ අවස්ථාවලදී ප්‍රමුඛ ලක්ෂණයක් වන වේදනාව ඉලක්ක කර ප්‍රතිකාර සිදු කළද , ආයුර්වේද ප්‍රතිකාරවලදී ලක්ෂණානූකූල ප්‍රතිකාර වලට වඩා රෝගයට මූලික හේතුව වූ ආහාර ජීර්ණ පද්ධතියේ සංකූලතාවයන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමයෙන් වේදනාව ඇතුළු අනෙක් රෝග ලක්ෂණද ඉවත්වී යාම සිදු වනවා.

    මෙහිදී අභ්‍යන්තරව ලබාදෙන කශාය, කල්ක, පෙති වැනි ඖෂධ වලට අමතරව ස්ථානීයව සිදු කරන ඖෂධීය තෛල සම්භාහන, ස්වේදන , පත්තු, ආලේපන වැනි ප්‍රතිකාර ද රෝග සුවයට උපකාර වෙනවා. රෝගයට මූලික හේතුව වූ ආමය නම් විෂ පදාර්ථය ඖෂධ මගින් පැසවා (ජීර්ණයට ලක්කර) මලපහ සමග ඉවත් කිරීමෙන්ම රෝග ලක්ෂණ බොහෝමයක් අයින් වෙනවා.

    ප්‍රතිකාර කාල සීමාව තුළ රෝගියාගේ ආහාර විකරණ රටාව ක්‍රමවත් කිරීම සඳහා වෛද්‍ය උපදෙස් ලබාදේ . නැවත ආම තත්වයක් ඇති නොවීම සඳහා ආහාර රටාව ක්‍රමවත්ව සකසා ගැනීමට රෝගියා උනන්දු වීම වැදගත්.

    එමෙන්ම දූෂිත වාත දෝෂය ප්‍රමුඛ අනෙක් දෝෂයන් සමතුලිත කිරීම සදහා වස්ති ආදී වූ ප්‍රතිකාර සාර්ථක ලෙස භාවිතයට ගන්නවා. රෝගය නිසා අක්‍රමවත් වූ සන්ධි චලන ක්‍රමවත් කිරීම සදහා යෝග ව්‍යායාම වල යෙදීම අතිශය ප්‍රතිඵලදායකයි.

    රෝගය නිසා දුර්වල වූ සිරුරෙහි ශක්තිය නැවත ප්‍රතිස්ථාපනය කර ප්‍රතිශක්තිය වර්ධනය සඳහා ප්‍රතිකාර වල අවසන් කාල සීමාව තුළදී ඖෂධ යෙදීම සිදු කරනු ලබනවා.

    මේ රෝගය සඳහා යෙදිය හැකි ආයුර්වේද ඖෂධ (බාහිර / අභ්‍යන්තර) විශාල ලෙස තියෙනවා. රෝගියා ගේ දෝෂ පවතින තත්ව අනුව සලකා වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර නිර්දේශ කරනු ලබනවා.

    වැදගත්ම දෙය නම් රෝගය හඳුනා ගැනීමෙන් පසු ඉක්මන් ප්‍රතිකාර වලට යොමු වීම තුළ නිරෝගී සුවපත් ජීවිතයක් ඔබට ලඟා කර ගැනීමට හැකි හැකියාව ලැබෙනු ඇත.

    ආයුර්වේද වෛද්‍ය චමිල් කරුණාරත්න.
    BAMS [ Hons ] Kelaniya University.

    කේෂාණි සෙනවිරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.