fbpx
තවත්
    මුල් පිටුවspecialරටේ බලාපොරොත්තු වෙනුවෙන් ළඟදි එළියට එන NVQ 03 දැනුමෙන් සන්නද්ධ තරුණ තරුණියන්...

    රටේ බලාපොරොත්තු වෙනුවෙන් ළඟදි එළියට එන NVQ 03 දැනුමෙන් සන්නද්ධ තරුණ තරුණියන් 34000ක්

    සාමාන්‍ය පෙළින් පසු ජීවිතයේ අරුත්බර නව පිටුවක් පෙරළන්න මෙරට තරුණ තරුණියන්ට ලැබෙන හොදම අවස්ථාව වන්නේ සිය ජීවිතයට වෘත්තීය නිපුණතාව ළඟාකර ගැනීමය. ජාතික වෘත්තීය සුදුසුකම නැතහොත් NVQ සහතිකයකින් සන්නද්ධ තරුණ තරුණියන්ට අද වන විට විවෘතව පවතින්නේ මෙරට රැකියා වෙළෙඳපොළ පමණක් නොවේ, විදේශීය වෙළෙඳපොළේද ඇත්තේ අතිශය තරඟකාරී රැකියා ඉල්ලුමකි.

    ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියෙන් පුහුණුව ලැබූ 34,000ක් පමණ පිරිසක් මේ වන විට සිටින්නේ අති සාර්ථක ලෙස පුහුණුව අවසන් කරමිනි.

    ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියෙන් සාර්ථකව පුහුණුව අවසන් කර NVQ සහතික ලැබූ තරුණ තරුණියන් විශාල පිරිසකට දැනටමත් විදේශිය රැකියා වෙළෙඳපොළ විවෘතව පැවතීම විශේෂත්වයකි. ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා, සිංගප්පූරුවේ හෙද රැකියා, රුමේනියාවේ පෑස්සුම් ශිල්පී රැකියා, කුවේටයේ ගෑස් සහ ඉන්ධන සමාගම්වල රැකියා ඇතුළු විශාල විදෙස් රැකියා වෙළෙඳපොළක් මේ වන විට විවෘතය. ඊට හේතුවී ඇත්තේ NVQ සහතිකයට ලැබී ඇති ජාත්‍යන්තර පිළිගැනීමය.

    වත්මන් රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව රැකියා ලක්ෂය සඳහා බඳවා ගැනුණු තරුණ තරුණියන්ටද මාස 06 ක පුහුණුවකින් පසුව හිමිවූයේ NVQ 03 මට්ටමේ සහතිකයයි. එම සහතිකය මේ වන විට අපේ රටේ මෙන්ම ලෝකයේද පිළිගැනීමකට ලක්වන්නේ අපොස සාමාාන්‍ය පෙළ හා සමාන අධ්‍යාපන සුදුසුකමක් ලෙසිනි. ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ අධ්‍යාපන තත්ත්වය නොමැති රජයේ සේවයට බදවා ගැණුනු එම තරුණ තරුණියන්ගේ අධ්‍යාපන සුදුසුකම ඉහළට නැංවූයේ ඒ අනුවය. NVQ මගින් ලැබෙන්නේ පොතපතේ දැනුම නොව, වෘත්තීය පුහුණුවකි. බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා බඳවාගත් තරුණ තරුණියන්ට කෘෂි නිෂ්පාදන, සාත්තු සේවා, පවිත්‍රතා ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන, ආපදා කළමනාකරන, පරිසර කළමනාකරන, අලෙවි සහයක, ඇඳුම් මැසීම, පෙදරේරු, රූපලාවන්‍ය, වඩු කාර්මික, විදුලි කාර්මික, සත්ත්ව පාලන, ඉන්ධන පිරවුම්හල්, පූර්ව ළමා විය සංවර්ධන සහයක, හෝටල් ආදී ක්ෂේත්‍ර ගණනාවකම පුහුණුව ලැබී තිබුණි.

    ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති තරංග නලින් ගම්ලත් මහතා සඳහන් කරනුයේ නවීන තාක්‍ෂණයත් සමග වෙනස් වෙමින් පවතින ශ්‍රම වෙළෙඳපොළට අවශ්‍ය නිපුණතාවෙන් හෙබි තරුණ තරුණියන් නිර්මාණය කිරීම වැඩපිළිවෙළිවෙලකට සිය අධිකාරිය මේ වන විට අත තබා ඇති බවය. මේ යටතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන්ට පුර්ණ කාලීන හා අර්ධ කාලීන වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට නොමිලේ අවස්ථාව ලබාදී ඇති බවත් මෙමගින් NVQ සහතික පත්‍ර මට්ටමේ සිට තාක්‍ෂණවේදී උපාධිය දක්වා වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි.

    ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති තරංග නලින් ගම්ලත් මහතා

    ඒ ඔස්සේ දෙස් විදෙස් රැකියා වෙළද පොළ ඉලක්කරගත් වෘත්තීය ක්ෂේත්‍ර 28 ක් යටතේ පාඨමාලා 2057ක් පැවැත්වීමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය කටයුතු යොදා තිබීම විශේෂිතය. එසේම පුහුණුව ලබන කාලය තුළ තෝරාගත් වෘත්තීන් සඳහා මාසිකව යම් දීමනාවක්ද ශිෂ්‍යාධාර ක්‍රමය යටතේ ලැබීමද විශේෂත්වයකි. ඊට අමතරව සහන මිලට ශ්‍රී ලංගම වාර ප්‍රවේශ පත්‍ර, පුස්තකාල පහසුකම්, දුර අනුව පිරිස ළමුන්ට නේවාසික පහසුකම්, නෙමිලයේ නිල ඇඳුමක් මෙන්ම සහන මිලට ආහාර පාන පහසුකම්ද පුහුණු කාලය තුළ ලැබෙනු ඇත.

    මෙම පාඨමාලා සම්පූර්ණකර NVQ සහතිකය හිමිවන අයට හිමිවන වාසි රැසකි. NVQ සහතිකයට විදේශීය රටවල ඉහල පිළිගැනීමක් ඇති බැවින් විදේශීය රැකියාවලට යොමුවන අයට ඉහල වැටුපක් සහිත රැකියාවකට පහසුවෙන්ම සොයා ගැනීමට මෙමගින් ලැබෙන හැකියාව ඉහළය. NVQ සහතිකය හිමි පුද්ගලයා අදාල වෘත්තියට අවශ්‍ය නිපුණතාවන්ගෙන් පිරි කෙනෙක් බවට තහවුරු කර ඇති බැවින් වෘත්තිය ජීවිතයෙදි ඉහල පිළිගැනීමක් පවා ඒ තුළින් හිමිවන බැවින් තමන්ගෙ හැකියාවන් දියුණු කරගෙන වෘත්තිය ජීවිතයේ ඉහළට යාමට අවස්ථාවක් හිමිවනු ඇත.

    එසේම දැනට විවිධ ක්ෂේත්‍රයන්වල රැකියාවේ නිරත පළපුරුදු වෘත්තීයවේදීන්ටත් සිය දැනුම යාවත්කාලීන කරගනිමින් පෙර දැනුම ඇගයුම් ක්‍රමවේදය මත (RPL) NVQ සහතිකය ලබා ගැනීමට අවස්ථාව උදාවී ඇති බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති තරංග නලින් ගම්ලත් මහතා පෙන්වා දෙයි. ඒ තුළින් දැනට වෘත්තීය මට්ටමේ නිරත සේවකයින්ට සිය දැනුම වර්ධනය කර ගැනීමට මෙන්ම ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළට පිවිසීමටද අවස්ථාව උදාවනු ඇත.

     

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.