fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හම්බන්තොට වරායෙන් සමූද්‍රීය ගෑස් ඉන්ධන ලඟදීම

    හම්බන්තොට වරායෙන් සමූද්‍රීය ගෑස් ඉන්ධන ලඟදීම

    පළමු MGO සැපයුම් යාත්‍රාව වරායට සේන්දු වේ

    හම්බන්තොට, 24 ජනවාරි 2022: සමූද්‍රීය ගෑස් ඉන්ධන (MGO) මෙට්‍රික් ටොන් 15,000ක් රැගත් ඉන්ධන නෞකාව වන ‘සනී බේ’ පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) සේන්දු විය. මෙය, වරායේ ඉන්ධන ගබඩා පර්යන්තයේ ගබඩා කිරීම සඳහා MGO රැගෙන ආ පළමු නෞකාව වේ.

    HIP, තම ගෝලීය හවුල්කරු සයිනොපෙක් සමාගම සමඟ, අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් (VLSFO) තොග වශයෙන් සැපයීමේ මෙහෙයුම පසුගිය වසරේ ආරම්භ කළේය. ඉන්ධන ගබඩා පර්යන්තය සමඟ එහි තෙල් ජැටි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර, ලෝක ප්‍රකට ලොයිඩ්ස් රෙජිස්ටර් සමාගම විසින් FSS සුරක්ෂිත සහතිකයද (Fitness for Service – සේවා සැපයීමට යෝග්‍යතාවය) හිමි කර ගැනීමෙන් අනතුරුව, හම්බන්තොට වරාය දැන් MGO සහ මැරීන් ඩීසල් තෙල් (MDO) සැපයීමට සුදානම්ව සිටී. මෙම MGO සේවා ආරම්භයත් සමඟ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය, පාරිභෝගිකයින්ගේ සියළු ඉන්ධන අවශ්‍යතා සපුරාලමින් කලාපයේ ප්‍රමුඛ ඉන්ධන තොග සැපයුම්කරුවෙකු ලෙස ස්ථානගත වනු ඇත.

    හම්බන්තොට වරාය, ජාත්‍යන්තර ප්‍රමිතීන් මිණුම් දණ්ඩක් කරගනිමින්, ශ්‍රි ලංකාවට අනන්‍ය වූ අති නවීන ඛනිජ තෙල් පරීක්ෂණ රසායනාගාරයක්ද පිහිටුවා ඇත. ප්‍රමුඛ පෙළේ ගෝලීය පරීක්ෂණ සේවා සපයන්නෙකු වන ඉන්ටර්ටෙක් ලංකා පුද්ගලික සමාගම සමඟ එක්ව පිහිටුවා ඇති රසායනාගාරය තුළින් නාවික ඉන්ධන, LPG ගෑස්, LNG ගෑස්, සහ අනෙකුත් ඛනිජ රසායනික නිෂ්පාදන, සහතික කිරීම සහ පරික්ෂා කිරීම ආදී සේවා සපයනු ඇත. වරාය පරිශ්‍රය තුළ පිහිටා ඇති රසායනාගාරය IMO 2020 හෙවත් ගෝලීය සල්ෆර් රෙගුලාසිය පරික්ෂා කිරිමේ හැකියාව ඇති ජාත්‍යන්තර ලෙස වර්ගීකරණය වූවකි.

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ පවසන්නේ, ලොයිඩ්ස් රෙජිස්ටර් සමාගම මඟින් සහතික ලත් ඉන්ධන ගබඩා පර්යන්තය මෙන්ම, නවීනතම රසායනාගාර පහසුකම් වලින්ද සමන්විත හෙයින් HIP හට සේවාලාභීන්ට, විශාල වටිනාකමක් ලබා දීමට හැකි වන බවයි. “ලෝකයේ නාවික ඉන්ධනයන්ගෙන් 50%ක වෙළඳාම් සිදු වන ඉන්දියානු සාගරයේ, උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇති හම්බන්තොට වරාය, ඉන්ධන සැපයීම, LPG සහ අනාගත LNG මෙහෙයුම්, ආදී සියළු සේවාවන් සඳහා ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස නිසි තැන ගැනීමට සුදානම්ව සිටී.”

    විද්‍යාගාර පරීක්ෂණ පහසුකම මඟින්, HIP සේවාලාභීන්ට, නාවික ඉන්ධන, මැරීන් ඩීසල් තෙල් සහ සමූද්‍රීය ගෑස් ඉන්ධන, වැනි සියල්ලකම ජාත්‍යන්තර තත්ව ප්‍රමිතීන්, කාර්යක්ෂමව සහ පහසුවෙන් ඉන්ධන පර්යන්ත පරිශ්‍රයේදීම සහතික කර ගැනීමටම හැකි වේ. වරායේ කැපවූ වෘත්තීය කණ්ඩායම තෙල් ටැංකි ජාලය, අනුබද්ධ නල මාර්ග, තෙල් නැංගුරම් ජැටි සහ පාලන පද්ධති ඉතා ආරක්ෂිතව මෙහෙයවන අතර වරායේ සියළු බලශක්ති සේවාවන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරයි. ක්‍රියාකාරී ගිනි නිවන පද්ධතියක් සහ අපජල පවිත්‍ර කිරීමේ පහසුකම් වැනි අනු සේවා සියල්ලක්ම වරාය විසින් පිහිටුවා ඇත.

    කාර්යබහුලම මුහුදු මාර්ගයකට ආසන්නව පිහිටා ඇති හම්බන්තොට ජාත්‍යන්තර වරාය අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ (IMO) 2020 ප්‍රමිතින්ට අනුකූල උසස් ගණයේ ඉන්ධන තෙල් සැපයීම සඳහා නම් ලත් ගෝලීය සමාගමක් වන සයිනොපෙක් සමඟ හවුල්ව ක්‍රියා කරයි. එතුළින් යාත්‍රා සඳහා ඉන්ධන පහසුකම් සපයන ශ්‍රී ලාංකික ආයතනයන්ටද ප්‍රතිලාභ ලබා දෙමින් මෙරට බලශක්ති වෙළඳපොළට වඩාත් තරඟකාරී ස්වභාවයක් ගෙන දෙනු ඇත. සමුද්‍ර කර්මාන්තයේ දෙවන ඉහළම ඉල්ලුම ඇති MGO අවශ්‍යතා සපුරාලීම ලඟදීම ආරම්භ කිරීමට වරාය බලාපොරොත්තු වේ. වරාය විසින් සපයන MGO, ISO 8271 ප්‍රමිතියට අනුකූල ඉතා උසස් තත්වයෙන් යුක්ත වන අතර, මාලදිවයින වැනි විදේශීය ගමනාන්තයන්ටද සැපයිය හැකිය.

    වරායේ ඉන්ධන තොග වශයෙන් සැපයීමේ හවුල්කරු වන සයිනොපෙක් සමූහය 2020 දී ෆොර්චූන් ග්ලෝබල් 500 ලැයිස්තුවේ (Fortune Global 500 list) 2 වන ස්ථානයට පත් වූ අතර තෙල් ගවේෂණය, නිෂ්පාදනය, පිරිපහදු කිරීම, අලෙවිකරණය සහ බෙදා හැරීම යන ක්ෂේත්‍රවල ගෝලීය ප්‍රමුඛයා වේ. සයිනෝපෙක් ඉන්ටර්නැෂනල් පෙට්‍රෝලියම් සර්විසස් කෝපරේෂන් (SINOPEC International Petroleum Services Corporation) සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) අතර හවුල්කාරිත්වය දෙපාර්ශවයට සහ ඔවුන්ගේ ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ ලබා දෙනවා පමණක් නොව, ගුණාත්මකභාවය, දැනුම සහ ප්‍රවීණත්වය අතින් ඉහළම ප්‍රමිතීන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් කර්මාන්තය ඉහල නංවනු ඇත.

    Picture caption
    හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් සමූද්‍රීය ගෑස් ඉන්ධන මුදාහරින ‘සනී බේ’ නෞකාව.

     

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.