fbpx
තවත්
    මුල් පිටුවspecialදකුණේ විසූ අනේපිඬු සිටුවරයා - බී.ආර්.දිසානායක

    දකුණේ විසූ අනේපිඬු සිටුවරයා – බී.ආර්.දිසානායක

    (අද දිනට යෙදී ඇති මහාදානපති බී.ආර්.දිසානායක මහතාගේ ගුණානුස්මරණ දිනය නිමිත්තෙනි)

    1911 ජනවාරි මස 28 වැනි දා වේහැල්ලේ මහ ‌බෙත්මේ වලව්වේ දී උපත ලද බැන්‌ටි රොබට් දිසානායකගේ මව්පියන් වූයේ දෙවුන්දරට ආසන්නයේ වූ කපුගම ග්‍රාමයේ ජීවත් වූ ඉඩම් හිමිවැවිලිකරුවකු මෙන්ම දෙවුන්දර විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ තනතුරු දැරූ අන්ද්‍රයස් කොර්නේලිස් දිසානායක මහත්මා සහ වේහැල්ලේ මහබෙත්මේ වලව්වේ විසූ ලුසී විජේසිරි ගුණතිලක වික්‍රමරත්න මහත්මියයි. විවාහයෙන් අනතරුව අන්ද්‍රයස් කොර්නේලිස් දිසානායක සිය බිරිදගේ නිවසෙහිම පදිංචි වූ අතර එම වලව්ව වනාහි පාරම්පරිකව දෙවුන්දර විස්ණු දේවාලයේ බස්නායක පදවිය හිමි වූ පරපුරේ නිවස විය.

    වේහැල්ලේ මහ බෙත්මේ වලව්ව

    මෙම වේහැල්ලේ බෙත්මේ වලව්වේ අභිමානවත් ඉතිහාසය නුවර යුගය දක්වා දිව යන අතර 17 වැනි සියවසේ දී මෙහි වාසය කළ විජේසිරි ගුණතිලක වික්‍රමරත්න දිසානායක ලොකු මහත්මයාට සහ ඔහුගේ කුමාරිහාමි වූ කඳුරුපොකුණේ නවරත්න පොඩි හාමිනේට දරුවන් තිදෙනෙක් වූහ. එවකට නවරත්නපොඩි මැණිකේගේ සහෝදරයා වූ කඳුරුපොකුණේ නවරත්න බුද්ධරක්ඛිත හිමි තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ධූරය හෙබවූ අතර උන්වහන්සේ විසින් දිනයක් වලව්වට වැඩම කොට ආපසු විහාරයට වැඩියේ නැඟණියගේ දොළොස් හැවිරිදි දෙටු පුත් අප්පුහාමිද කැටුවය. සාමණේර නමක වීමට අවශ්‍ය බණ-දහම් ආදියෙහි දක්ෂ වූ අප්පුහාමි දරුවා 1693 දී පැවිදි භූමියට පත් කළ අතර ඒ ‘වේහැල්ලේ ධම්මදින්න’ නාමය ලබා දෙමිනි.

    පැවිදි වූ මුල් යුගයේ පටන් වැලිවිට සරණංකර හිමියන්ගේ ඇසුරට පත් වේහැල්ලේ ධම්මදින්න සාමණේරයෝ ඉතා අලංකාර ලෙස පුස්කොළ ලිවීමටත්, ධර්ම දේශනා පැවැත්වීමටත් හැකියාව ලැබූහ. මේ නිසා සරණංකර හිමියන් රජමාලිගයට වඩින අවස්ථාවලදී ධම්මදින්න සාමණේරයන් කැටුව ගිය බොහෝ අවස්ථා වල දී කීර්ති ශ්‍රී රාජසිංහ රජුට දහම් දෙසුවේ එම සාමණේර නම විසිනි. වසර විසිතුනක් මේ කටයුතුවල යෙදී ගම්රටවල් බලා වැඩම කිරීමට සිතූ වේහැල්ලේ සාමණේර හිමියන් ඒ බව රජුට දැන්වීමට වැඩි මොහොතේ මේ මනා රූපසම්පත්තියෙන් හා චතුර ධර්ම දේශනා ශක්තියෙන් හෙබි ධම්මදින්න හිමියන් සංඝරාජහිමියන්ගේ ද කැමැත්තෙන් කුට්ටාපිටිය ගම්වරය හා ශ්‍රීපාදස්ථානාධිපති ධූරය පිදීමට රජු කටයුතු කළේය.

    දිනක් වේහැල්ලේ හිමියන් බැහැ දැකීමට උන්වහන්සේගේ බාල සොයුරා පැමිණි අතර ඔහු රජදැක්ම සදහා හිමියන් සමග ගියේය. එහිදී ඔහු උඩරට රාජධානිය ලන්දේසීන්ගෙන් රැකගැනීමේ මුර කපොල්ලේ සේවය කරන බව දැනගත් කිර්ති ශ්‍රි රාජසිංහ රජු, ඔහු පිළිබදව පැහැදුනු අතර වේහැල්ලේ හිමි පිළිබඳ ඇති පැහැදීමත්, තරුණයා පිළිබඳ ඇති වූ විශ්වාසයත් නිසා සපරගමුව හා දකුණ යා කෙරෙන ප්‍රධාන මුරපොළ වූ ‘මුලමුර’ රැකීමේ ප්‍රධානියා ලෙස ඔහුට පත් වීමක් ලබා දුන්නේය. එය රජු සිදු කළේ තරුණයාගේ මවු-පිය පාර්ශ්ව දෙකෙහි නම් ගළපා ‘වේහැල්ලක නවරත්න දිශානායක පණ්ඩිත මුදියන්සේ’ යන නම්බු නාමය ද ගම්වරයක් ද ප්‍රදානය කිරීමෙනි. එම ගම්වරය ‘මොලමුරේ’ නම් විය. මෙම වේහැල්ලේ පරපුර පසුව ආවාහ විවාහ නිසා මොලමුරේ, විජේසිංහ, ඇමටියගොඩ, විජයවර්ධන ආදි මෙරට ප්‍රකට පරපුරවල් රාශියක් සමග සම්බන්ධ විය.

    දිසානායක පවුලේ දියණියන් 6 දෙනෙක් ද පුතුන් 5 දෙනෙක් ද වූහ. ඒ අතුරින් 9 වැනියා වූ බැන්ටි වයස අවුරුදු 7 වන විට කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත් කළ අතර කොළඹ පිහිටි සිටි වැඩිමහල් සහෝදරියගේ නිවසේ සිට පාසල් ගමන සිදු කරන ලදී. දිනක් බැන්ටිව බැලීම සදහා මව කොළඹ පැමිණි අවස්ථාවක ඔහුගේ වියදම් සදහා ශත 10 දී පැමිණි අතර ඔහු එය පරිස්සම් කර තබා ගෙන පිණ්ඩපාතයේ වැඩි ස්වාමීන් වහන්සේ නමකට මී කිරි බදුනක් ගෙන පූජා කළේය. මෙය සාමාන්‍යයෙන් මෙවැනි වයසක දරුවකුගෙන් බලාපොරොත්තු විය හැකි දෙයක් නොවීය.

    මෙසේ ඉතාම දක්ෂ ලෙස ඔහුට කණිෂ්ඨ විභාගයෙන් අනතුරුව අධ්‍යාපනය නතර කිරීමට සිදු වන්නේ පොල් මිල පහත හෙලීමෙන් දෙමව්පියන්ගේ ආදායම් මාර්ග අවහිර වීම නිසාය. ඉගෙන ගැනීම නතර කිරීමෙන් පසු ඔහු පොලීසියට, යුධ හමුදාවට හා දුම්රිය රියදුරු සේවයට බැදීමට අදහස් කළත් ඒ සියලු උත්සහයන් අසාර්ථක විය. පසුව ඔහු ගම්සභා ලිපිකාර තනතුරකට ඉල්ලුම් පත්‍ර යොමු කළ ද එය ලියාපදිංචි තෑපැලෙන් යොමු නොකිරීම නිසා අස්ථාන ගත විය. මින් අනතුරුව රැකියා සෙවීමේ අදහස සදහට අත්හැර දැමූ ඔහු තම පියා සතු කුඹුරු වගා කිරීම ආරම්භ කරන ලදී.

    ආරෝහ පරිනාම දේහයකින් යුතු බැන්ටි වී වගාවට අදාල සිදු ක්‍රියාදාමයන් නොබසු බස්නා වීර්යයකින් සිදු කරන ලදී. ඊට අමතරව පොල් එකතු කො‌ට කොප්පරා තැනීම ද ඔහු විසින් සිදු කරන ලදී. පසුව සිය සොහොයුරියගේ ස්වාමිපුරුෂයා වූ දෙනියායේ ඒ.ඒ.ඩබ්.රත්නායක රාළහාමිගේ වතුයායේ වසර දෙකක් පමණ සේවය කරන ලද අතර එම කාළයේ දී වතු වගාව පිළිබද මනා දැනීමක් ලබා ගැනීමට ඔහු සමත් විය. මේ වන විට 19 වන වියෙහි පසු වූ ඔහු රත්නායක පවුලේ බෑනාවරුන් හා ලේලිවරු සමග එක්ව දෙනියාය නගරයේ ව්‍යාපාර ආරම්භ කළ අතර එහි ලාභය කොටස්කරුවන් අතර ‌බෙදා ගත්හ. දෙනියායේ සිටි අවධියේ දී එහි ය ධර්මද්ජ පිරිවෙණේ බෙරලපනාතර ධම්මරතන නාහිමියන්ගේ ඇසුරට පත් වීම ඔහුගේ ජීවිතයෙහි හැරවුම් ලක්ෂයක් වූවා සේය. උන්වහන්සේ එවකට එහි ආගමික හා සමාජයීය වශයෙන් විශාල කර්තව්‍යයක් ඉටු කරමින් සිටි අතර එම කටයුතු වලට සම්බන්ධ වීමට තරුණ බැන්ටිට අවස්ථාව ලැබුනි.

    දෙනියායේ වෙදළාම් කටයුතු වලින් පසු ගාල්ලට පැමිණි ඔහු ඉන් අනතුරුව සිල්ලර කඩයක් ආරම්භ කොට තොග වෙළදාම කළ අතර පසුව එහි කොටස්කරුවකුට තම කොටස ද පවරා ඉන් අස්විය. මේ අතර තවත් හවුල්කරුවන් දෙදෙනකු හා එක්ව කොටපොළ ප්‍රදේශයේ අක්කර 425 තේ සහ රබර් වත්තක් මිලදී ගත් අතර එය ක්‍රමයෙන් දියුණු කිරීමට ඔහු සමත් විය.

    1947 දී ඔහු විවාහ දිවියට පත් වන්නේ ගාල්ල මාගාල්ලේ බී.මාෂල් නම් වූ ව්‍යාපාරිකයාගේ දියණිය සමගය. බී. මාර්ෂල්ට අප්‍රිකාවේ සැන්සිබාර්හි පවා වෙළදව්‍යාපාර කටයුතු අයත්ව තිබූ අතර ඔහුගේ හදිසි වියෝවයෙන් දියණිය වෙත එම සියලු දේපල වලකීම පැවරුනි. විවාහයෙන් අනතුරුව එම දේපල දියුණු කිරීමේ වගකීම ද බැන්ටිට පැවරුනු නිසා වව්ලුගල නම් වූ අතිවිශාල වතුයාය ද දියුණු කරවා තේ කර්මාන්ත ශාලා ද ඉදි කරන ලදී. රක්වානේ ද ඉඩම් මිලදී ගත් ඔහු ගාල්ලේ සීමාසහිත ඊකෝට්ස් සමාගම ද මිලදී ගන්නා ලදී. ඊකෝට්ස් සමාගම විසින් සිදු කරන ලද්දේ වැවිලි නිශ්පාදන අපනයනය කිරීමයි. පසුව මාගාල්ල වෙළද සමාගම නමින් වෙළද සමාගමක් ආරම්භ කරන ලදී. එමගින් සකස් කරන ලද පොල් නිශ්පාදන, කොහු නිශ්පාදන හා පොල් කටු අගුරු අපනයන කිරීම ද ආරම්භ කරන ලදී. ඒ සදහා අවශ්‍ය පොල් සපයා ගැනීමට ලුණුවිල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් මිලට ගත්තේය. 1960 දශකය පමණ වන විට ඔහු ගාල්ලේ සිටින ධනවතුන් අතර ප්‍රමුඛ පෙළට පත් විය. ගාල්ල ප්‍රදේශයේ මෙතුමන්ව හදුන්වන ලද්දේ දිසානායක හාමු මහත්තයා නමින්ය.

    බී.ආර් දිසානායක මහතා හා කැතරින් දිසානායක මහත්මිය

    ධනය ඉපැයීම පමණක් සිය රාජකාරිය කොට නොගත් ඔහු එතෙක් සිදු කරමින් පැවති පුණ්‍ය කටයුතු ක්‍රමවත්ව සිදු කිරීම උදෙසා 1964 සැප්තැම්බර් මස 4 වෙනි දින ‘ සම්බෝධි සුභසාධක සමිතිය’ නමින් පුණ්‍යායතනයක් ආරම්භ කළ අතර 1974 පෙබරවාරි 24 දින අංක 57 දරණ ගැසට් පත්‍රයෙන් එය රජය පිලිගත් පුණ්‍යායතනයක් බවට පත් කරන ලදී. එහි ප්‍රධාන මූලස්ථානය ලෙස මාගාල්ලේ සම්‌බෝධි අබාධිත අනාථ නිවාස ඉදි කළ අතර එහි ම කොටසක ප්‍රදේශයේ අබාධිත දරුවන් උදෙසා උපකෘත පාසලක් ආරම්භ කරන ලදී. සෑම දිනකම එම ආබාධිත දරුවන් පිළිබදව තමන් විසින් ම සොයා බැලූ ඔහු දරුසෙනෙහසින් යුතුව ඔවුන්ව රැක බලා ගන්නා ලදී. මෙම සම්‌බෝධි භාරයට ආදයම් පිණිස ඔහු විසින් අක්කර 363 ක් යුතු වවුලුගල වතුයාය, අක්කර 132 කොටපොල වතුයාය, වරල්ලේ අක්කර 20 වතුයාය, බූවැලිආරේ අක්කර 326 ද, වව්ලුගල හා වරල්ලේ ‌තේ කර්මාන්ත ශාලා ඇතුලු තවත් වත්කම් ගණනාවක් පවරන ලදී.

    බූවැලිආර, කොටපොල ද තවත් ආබාදිත නිවාස ද්විත්වයක් ඇති කළ ඔහු ස්වකීය මහගෙදර වූ වේහැල්ලේ මහ ‌බෙත්මේ වලව්ව ද එම භාරයට පවරමින් එහි වැඩිහිටි නිවාසයක් ආරම්භ කරන ලදී. කල්යත්ම මෙම භාරයට ආබාධිත, වැඩිහිටි හා ළමා නිවාස 16 භාරකාරීත්වය පැවරුනු අතර මාගාල්ලේ වයෝවෘද්ධ භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයක් ද ආරම්භ කරන ලදී. නිවාස නොමැති දුගී දුප්පතුන් ගණනාවක් වෙනුවෙන් ඔහු නිවාස ඉදි කරන ලද අතර වසර 40 අධික කාළයක් තම නිවසේ දිනපතා යාචක දානයක් පවත්වන ලදී. දිනපතා දහවල් පුද්ගලයන් 100-150 පමණ මෙම දන්සල පැවැත්වුවේය.

    රුහුණු වීශ්වවිද්‍යාලයේ වෛද්‍යය පීඨය වෙනුවෙන් දෙමහල් නේවාසිකාගාරයක් ඉදි කළ ඔහු තම බිරිදගේ ද අදහසකට අනුව කොටුවේ වොලංකා සමාගමට අයත්ව තිබූ ගොඩනැගිල්ල මිලදී ගෙන ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයට පරිත්‍යාගය කළ අතර වර්තමානයේ දී එය දිසානායක ගොඩනැගිල්ල නමින් හැදින්වේ.

    මෙසේ දිසානායක යුවල විසින් විශාල සමාජ සුබ සාධක කාර්යන් සිදු කරගෙන යන අතර තුරදී 1978 අගෝස්තු මස 18 වැනි දින කැත්ලින් දිසානායක මහත්මිය අභාවප්‍රාප්ත විය. මෙයින් අනතුරුව තව තවත් පොදු කටයුතු කෙරෙහි සිදු යොමු කළ බැන්ටි වසර තිස්ගණනක් එම යුවල ජීවත් වූ මාගාල්ලේ සේනානි නම් වූ මහා මැදුර ආයුර්වේද රෝහලක් බවට පත් කරන ලද අතර ඔහු විසින් ම 1973 දී පිහිටුවන ලද ගාල්ලේ පිලිකා සංගමය විසින් ගාල්ලට පිලිකා රෝහලක අවශ්‍යතාවය පෙන්වා දීමෙන් අනතුරුව කැත්ලින් දිසානායක මහත්මියගේ සියලු රන් ආභරණ වෙන්දේසි කොට දාහත් ලක්ෂයක මුදලක් ගෙන එයින් කැත්ලින් දිසානායක අනුස්මරණ පිළිකා රෝහල නිම කරවා 1980 ජුලි 25 දින විවෘත කරන ලදී.

    1958 දී වවුලුගල අක්කර 51 භූමියක් වෙන් කොට ඔහු තනවන ලද ආරණ්‍ය සේනාසනය වර්තමානයේ සම්‌බෝධි ආරණ්‍යය යන නමින් හැදින්වේ. මෙම අවධියේ දී එවකට දක්ෂ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූ පානදුරේ අරිධම්ම හිමියන්ගේ මුණ ගැසීම බැන්ටි මහතා තවත් ශාසනික කටයුතු වලට නැඹුරු වීමට හේතුවක් විය.

    ඇත් දළ යුවල ශ්‍රී දළදා මාලිගාවට පූජා කිරීමට පෙර ගාල්ලේ සේනානි නිවසේ තැම්පත් කොට තිබූ අයුරු

    ඒ අනුව තම භාර්යාවගේ පියාට අයත් ව සේනානි නිවසේ තැම්පත් කොට තිබූ අඩි 7 පමණ ද විෂ්කම්භය අගල් 20 පමණ ද වූ සුවිශාල ඇත් දළ යුවල ගාල්ලේ සිට නුවර දක්වා මහ පෙරහැරකින් වඩමවා ශ්‍රී දළදා මාලිගාවට ඔහු විසින් පූජා කළ අතර එම ඇත් දළ යුවල වර්තමානයේ දළදා මාලිගාවේ හදුන්කුඩමේ තැම්පත් කර ඇති එය එහි ති‌බෙන සුවිශාලම ඇත් දළ යුවල ලෙස ද ඇතැම් තැනක ලංකාවේ විශාලම ඇත්දළ යුවල ලෙස ද සදහන් වේ. මෙම සම්පූර්ණ පින්කම අරියධම්ම හිමියෝ කවියට නැගූහ.

    සම්මා සම්බුදු සිරි දළදා වෙත
    ඇත් දළ දෙක බැති සිතින් පුදා
    කළ මාහැගි පින්කම සිහියට ගෙන
    නිවන් පතා මතු පෙරුම් පුරා

    මහ සගරුවනට මහ දෙන පින
    මහ සග රුවටනහි සැප සලසන පින
    නිතර දෙවේලේ සිහිකොට පින්වත
    නිවන් පතා මතු පෙරුම් පුරා

    1982 දී තමන්ගේ සම්පූර්ණ මුල්‍ය දායකත්වයෙන් රුවන්වැලි මහා සෑය සුණු පිළියම් කිරීමට ඔහුට අදහසක් පහල වූ නිසා එවකට එහි නායක හිමියන්ගේ අනුදැනුම මත එම කටයුතු සිදු කළන ලදී. එය අවසානය පානදුරේ අරියධම්ම හිමියන් විසින් ශ්‍රී මහා ‌බෝධිය අභියස දී ‌සුවිශාල බෝධි පූජාවක් පවත්වන ලද අතර මේ පින්කම සදහා ගාල්ලේ සිට අනුරාධපුරය දක්වා දුම්රියක් විශේෂයෙන් යෙදවූයේය. එහි දී දිසානායක මහතාගේ අනුග්‍රහයෙන් ඔහුගේ වතු හා කර්මාන්ත ශාලාවල සේවකයන්, අබාධිත හා අනාථ නිවාස වල සියලු දෙනා ද හිතමිතුරෝ ආදී 2000 ක පිරිසක් අනුරාධපුරය බලා ගමන් කළහ.

    පානදුරේ අරියධම්ම හිමියන්ගේ ධර්ම ප්‍රචාරණ සේවාවට පහසු වනු පිණිස වෑන් රථයක් සියලු වියදම් හා රියදුරු සහිතව පූජා කළ ඔහු, කැකිරාවට නුදුරු තිරප්පනේ අක්කර 8 භූමි භාගයක විශාල ආරාමයක් තනවා ඒ හිමියන්ට පවරන ලදී. අරියධම්ම හිමියන් විසින් කොළඹ 7 උන්වහන්සේ වැඩ සිටි ආරාමයට සම්‌බෝධි නමින් නම් තබන්නේ ද දිසානායක මහතා හා ඔහුගේ සම්‌බෝධි භාරය පිළිබදව තිබු සබැදියාව සිහිපත් වනු පිණිසය. කැත්රින් දිසානායක මහත්මියගේ අභාවයෙන් පසු බැන්ටි මහතා මෙම පුණ්‍යකර්ම කටයුතු මනාව පවත්වා ගෙන යෑම සදහා නැවත වරක් විවාහ දිවියට ඇතුළත් වන අතර ඒ ක්ෂේත්‍රා ද සිල්වා මහත්මිය සමගයි. දිසානායක මහතා වයෝවෘද්ධ සමයේ හා එතුමන්ගේ අභාවයෙන් පසුව පවා එතුමිය මෙම කටයුතු මනාව පවත්වා ගෙන යන ලදී. ආරම්භක යුගයේ පටන් ම මේ කටයුතු වලට ඔහුට සෙවැල්ලක් මෙන් උපකාර කළ කල්‍යාණ මිත්‍රයන් දෙදෙනකු වූයේ ධර්මසේන අබේනායක රාළහාමි සහ වතුපරිපාලක ඩී.සී.හේවාවිදාන මහතාය.

    රුවන්වැලි සෑ පින්කම පැවැත්වූ දින පානදුරේ අරියධම්ම හිමි සහ රුවන්වැලි සෑ චෛත්‍යයරාමාධිකාරී නාහිමි සමඟ

    මේ ආකාරයේ මහා පුණ්‍ය කර්ම ගණනාවක් කළ ඔහු 1995 ජනවාරි මස 24 වැනිදි අභාවප්‍රාප්ත වූ අතර මිය ගිය පසුත් ඔහුගේ පරිත්‍යාගශිලීත්වයට ඉඩ දෙමින් ඔහු අදහස් කළ පරිදි එම දේහය රුහුණු වෛද්‍ය පීඨයට භාර දෙන ලදී.

    දකුණුලක ව්‍යාපාරියක ක්ෂේත්‍රෙය් කැපී පෙනෙන නාමයක් සනිටුහන් කළ බී.ආර්. දිසානායක හාමු මහතා ඉන් ඉදිරියට පා තබන්නේ මහා දානපතියකු ලෙස ය. මෙරට ශාසනයට මෙන්ම සමාජයට ඉමහත් සේවාවක් ඉටු කළ එතුමන්ගේ ගුණ අප සදා සිහිපත් කරමු.

    එම දළ යුගලය වර්තමානයේ දළදා මාලිගාවේ තැම්පත් කර ඇති අයුරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.