fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පී.බී. යළිත්! - කබ්රාල් බලා සිටී

    පී.බී. යළිත්! – කබ්රාල් බලා සිටී

    පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කෙරේ.

    පත්වීම් ලිපිය, ජනාධිපතිවරයා විසින් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ගාමිණී සෙනරත් මහතා වෙත භාර දෙනු ලැබිණ.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි වශයෙන් ද 2004 -2005, 2019 වසරවල සහ වත්මන් ආණ්ඩුවේ දී ද මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.

    හක්මණ මෙතෝදිස්ත, මාතර රාහුල හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලවලින් මූලික හා ද්විතීයික අධ්‍යාපනය හදරා ඇති සෙනරත් මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා 1984 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් විය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාව හිමිකරගෙන ඇති ඒ මහතා එක්සත් රාජධානිය, ජපානය, සිංගප්පූරුව, පාකිස්ථානය, ජර්මනිය සහ ප්‍රංශය ඇතුළු රටවල් රැසක පුහුණු පාඨමාලා හදාරා ඇත.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන රැසක ඉහළ තනතුර හෙබවූ ඒ මහතා මහජන බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යවසායකත්ව රැසක සභාපතීත්වය උසුලා ඇත.

    මේ අතර නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඩී.එම්. අනුර දිසානායක මහතා පත් කළ අතර ජනාධිපතිවරයා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කරනු ලැබීය.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අනුර දිසානායක මහතා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. අමාත්‍යාංශ කිහිපයක ලේකම් ධුරය හොබවා ඇති ඒ මහතා රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු රැසක් හෙබවූ අත්දැකීම් බහුල රාජ්‍ය නිලධාරියෙකි.

    අනුර දිසානායක මහතාගේ නව පත්වීමත් සමග පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඩබ්. අයිවන් ද සිල්වා මහතා පත් කර ඇති අතර ජනාධිපතිවරයා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කරනු ලැබීය.

    රටේ සෑම දෙයක්ම රාජ්‍ය සේවය මත රඳා පවතී. එම නිසා සියලුම අමාත්‍යාංශ ලේකම්වරු ඉදිරියේ දැවැන්ත වගකීම් කොටසක් පැවරී ඇති බව ජනාධිපතිවරයා සියලුම කැබිනට් ලේකම්වරුන් අමතමින් සඳහන් කළේය.

    අද දින සේවයෙන් බැහැර වූ හිටපු ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා යළිත් සිය දායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්ෂාවෙන් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර තිබේ.

    2005 වසරේ සිට ඔහු හා සමඟ එක්ව අභියෝග ජයගත් ආකාරය පිළිබඳ තමාට විශිෂ්ට මතකයන් ඇතැයි ද ඔහු සිහිපත් කරයි.

    මෙතෙක් දැක්වූ දායකත්වයට ජයසුන්දර මහතාට තුති පුද කරමින් කබ්රාල් මහතා පෙන්වා දී ඇත්තේ පීබී ජයසුන්දර මහතාට තව බොහෝ දේ කළ හැකි බවත් ඔහුගේ ඉදිරි දායකත්වය තමා අපේක්ෂාවෙන් සිටින බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.