fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අගමැතිට ජනපතිට පමණක් වගකීම් පවරලා බලා හිටියොත් රට ගොඩ ගන්න අමාරුයි

    අගමැතිට ජනපතිට පමණක් වගකීම් පවරලා බලා හිටියොත් රට ගොඩ ගන්න අමාරුයි

    රටේ අගමැතිතුමාට ජනපතිතුමාට පමණක් වගකීම් පවරලා බලා හිටියොත් මේ රට ගොඩ ගන්න අමාරු යැයි අස්ගිරි පාර්ශවයේ අනු නායක වෙඬරුවේ උපාලි අනු නාහිමියෝ අද (16) පස්වරුවේ පැවසූහ.

    මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ඉදිකළ “ටොම්ලින් උද්‍යානය” හා සහස් උයන “නාගරික රථගාල උද්‍යානය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ විවෘත කිරමෙන් අනතුරුව කෙටි අනුශාසනාවක් පවත්වමින් අනු නාහිමියෝ මේ බව සඳහන් කළහ.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් මෙම උද්‍යාන නිර්මාණ කර තිබිණි.

    වන්දනාකරුවන්ට විවේක ගැනීම සඳහා කාමර පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් හා වෙළඳ කුටි 16කින් සමන්විත ටොම්ලින් උද්‍යානය ඉදිකිරීමට ලෝක බැංකු ආධාර යටතේ වැය කර ඇති මුදල රුපියල් මිලියන 374කි.

    සහස් උයන “නාගරික රථගාල උද්‍යානය” විවෘත රංග පීඨයක්, හස්ත කර්මාන්ත වෙළඳ සංකීර්ණයක්, බොජුන් පියසක් සහ ළමා උද්‍යානයකින් සමන්විතය. ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 531ක් වැය කරමින් පැවති නාගරික රථගාල මත මෙම උද්‍යානය ඉදිකර තිබේ.

    මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නාහිමියෝ උත්සවයට පැමිණ සිටි පිරිස පංච සීලයේ පිහිට වූහ.

    අස්ගිරි පාර්ශවයේ අනු නායක වෙඬරුවේ උපාලි අනු නාහිමියෝ මෙසේ ද කීහ.

    “මේ නගරය ආරම්භ වුණේ 1312 දි 4වැනි පරාක්‍රමබාහු රජ දවසෙයි. අපි සතුටු වෙනවා මේ විසි එක්වැනි සියවසේ අපේ වර්තමාන ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රමුඛත්වයෙන් ඒ නගර සිරිය යළි අපට, රටට, පුරවැසියන්ට ලබා දීම පිළිබඳව. මේ නගරයේ තිබෙන විශේෂත්වය නම් දළදා වහන්සේම අවුරුදු 425කට අධික කාලයක් වැඩ වාසය කර තිබෙනවා. ඒ නිසා බුදුන් වැඩ සිටි සමයේ සැවැත්නුවර,රජගහ නුවර, කිඹුල්වත් නුවර,වගේ ඉතා පූජනීය නගරයක්. සංස්කෘතික වටිනාකම්වලින් අනූන මේ නගරය ලෝක උරුම නගරයක්. ලොවට සංස්කෘතිය කියාපාන දළදා පෙරහර එහි දී මුල්තැනක් ගන්නවා. අපි ඒ නිසා මේ නගරයට නව පණක් ලැබෙන අවස්ථාවේ ප්‍රධාන විහාර විධියට අස්ගිරි මල්වතු විහාර මේ සඳහා ආශිර්වාද කරනවා.

    අද වර්තමාන ජනාධිපතිතුමා විශාල පරිශ්‍රමයක් දරනවා මේ රට සෞභාග්‍ය කරා ගෙන යන්න. ඉතිහාසයේ සෞභාග්‍යමත් මිනිසුන් ඉඳලා තියෙන්නේ ශක්තිමත් නායකත්වයක් සහ ශක්තිමත් රජයක් යටතේයි.

    අපට පාලකයෝ කොතෙකුත් ඉන්න පුළුවන් නමුත් නායකයෝ අවශ්‍යයි.

    ඒ නිසා වර්තමාන ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ නායකත්වයේ ඉඳගෙන මේ රටට සෞභාග්‍ය ළඟා කරයි කියල විශ්වාසයක් තිබෙනවා. රටක් දියුණු වීමේදී විශේෂයෙන් සංකල්ප අවශ්‍යයි ආකල්ප අවශ්‍යයි.

    රට දියුණු වෙනවනම් කාරණා හතරක් ගැන අවධානය යොමු කරන්නට ඕන.

    පළමුවැනි කාරණය රට ගැන හිතන්නට ඕන. දෙවැනි කාරණය තමන්ගේ රාජකාරිය ගැන හිතන්නට ඕන. තුන්වෙනි තැනට තමන්ගේ පවුල ගැනත් ඊළඟට තමන් ගැනත් හිතන්නට ඕන.

    අභාග්‍ය නම් අපේ රටේ වැඩි දෙනා ඔය පිළිවෙල අනික් පැත්තටයි අනුගමනය කරන්නේ මුලින්ම තමන් ගැන ඉන්පසු පවුල ගැන ඉන්පසු රාජකාරිය ගැන අන්තිමට රට ගැන හිතනවා. ඒ නිසා අන්න ඒ ගමන් මග වෙනස් කිරීමට දැන් රටේ නායකත්වයක් අපට තිබෙනවා.

    ඒ නිසා අපි අපේ වගකීම ඉටු කරන්නට ඕන. අපට තිබෙන අභියෝග රටට තිබෙන අභියෝග අපි තේරුම් ගන්නට ඕන. රටේ අගමැතිතුමාට ජනපතිතුමාට පමණක් වගකීම් පවරලා බලා හිටියොත් මේ රට ගොඩ ගන්න අමාරුයි. ඒ නිසා අපි පුරවැසියන් වශයෙන් කවුරුත් ඒ සඳහා සහයෝගය දෙන්නට ඕන. ඇත්තෙන්ම වැදගත් වන්නේ අවුරුදු පහකට යම් රජයක් පිහිටෙව්වාට පසුව ඒ රජයට සහයෝගය දෙන්නට ඕන. බල අරගලය වෙනුවෙන් එය වැට්ට වීමට එය උදාසීන කිරීමට කටයුතු කරනවනම් එයින් පීඩාවට පත් වන්නේ මහජනතාවයි.

    ඒ නිසා අපි ඉවසීම ප්‍රගුණ කරන්නට ඕන, විවේචන කරන්නට ඕන, හැබැයි මෙන්න මේ වගේ හොඳ වැඩ අගයන්නට ඕන. යැයි අනු නාහිමියෝ පැවසූහ.

    මෙම අවස්ථාවන්ට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපාබණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදයන කිරිඳිගොඩ, මහනුවර නගරාධිපති කේසර සේනානායක, විපක්ෂ නායක සේන දිසානායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ පී.ගුණතිලක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.