fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවර්ධනයට සහය දෙන බව ආසියානු සංවර්ධන බැංකුව ජනපතිට...

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවර්ධනයට සහය දෙන බව ආසියානු සංවර්ධන බැංකුව ජනපතිට කියයි

    මෙරට ආර්ථික ප්‍රවර්ධනය වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි උප සභාපති ෂික්සිත් චෙන් (Shixin Chen) මහතා පවසයි.

    අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී උප සභාපතිවරයා මේ බව දන්වා තිබේ.

    ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව දැනට මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සාර්ථකත්වය ෂික්සිත් චෙන් මහතා ඇගයීමට එහිසී ලක්ව ඇත. රාජ්‍ය සංස්ථා කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කරන බව ෂික්සිත් චෙන් මහතා ජනාධිපතිවරයාට එහිදී සඳහන් කර තිබේ.

    ආසියානු සංවර්ධන බැංකුව මෙම වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 786ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කර තිබේ. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 27කි. ආසියානු සංවර්ධන බැංකුවෙහි වාර්ෂික සම්මේලනය රටවල් 68ක නියෝජනයෙන් ලබන මැයි මස 02 සිට 05 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර ඇත. මීට සමගාමීව ව්‍යාපාරික සමුළු ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. දේශීය සහ විදේශීය නියෝජිතයන් 5,000ක පමණ පිරිසක් ඊට සහභාගී වෙතැයි අපේක්ෂා කෙරේ.

    “පශ්චාත් කොවිඩ් – 19 ලෝකය සඳහා කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක්” යන තේමාව ඔස්සේ සමුළුව පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකාව කොවිඩ් – 19 එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීම, රජයේ සෞඛ්‍ය යාන්ත්‍රණයෙහි සංවිධානාත්මක බව ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිවරයාගේ ඇගයීමට මෙම හමුවේදී ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් සහාය වෙනුවෙන් රජයේත් ජනතාවගේත් කෘතවේදීත්වය හිමි වන බව රාජපක්ෂ මහතා එහිදී සඳහන්කර තිබේ.

    ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක එයිමින් සෝව් (Aiming Zhou), නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), ලේකම් මුහමඩ් එෂාන් ඛාන් (Muhammad Eshan Khan), නේවාසික නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සාව් කුමාර් (Utsav Kumar), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායක, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩී.එස්. ජයවීර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.