fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ව්‍යාපාරිකහම්බන්තොට වරායේ ඉන්ධන ගබඩා පර්යන්තයට ලොයිඩ්ස් සහතිකය

    හම්බන්තොට වරායේ ඉන්ධන ගබඩා පර්යන්තයට ලොයිඩ්ස් සහතිකය

    තම ඉන්ධන ගබඩා පර්යන්තය සඳහා සේවා සැපයීමේ යෝග්‍යත සහතිකය (Fitness for Service ) හිමි කරගැනීමට සමත්වූ බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සදහන් කරයි.

    සමුද්‍ර සහ අක්වෙරළ කර්මාන්ත සඳහා වර්ගීකරණය, අනුකූලතාව, හා උපදේශක සේවා සපයන ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ලොයිඩ්ස් රෙජිස්ටර් (Lloyd’s Register – LR) විසින් පිරිනමන ලද මෙම සහතිකය, HIP සන්නාමය සමුද්‍රීය ක්ශේත්‍රය තුල තවදුරටත් ශක්තිමත් කරයි. මෙය හම්බන්තොට ජාත්‍යන්තර වරායට හිමි වී ඇති සුවිශේෂී ජයග්‍රහණයක් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    එම නිවේදනයේ මෙසේද දැක්වේ.

    ලොයිඩ්ස් සහතිකය වරායට පිරිනමන ලද්දේ, ස්වාධීන තෙවන පාර්ශවීය තක්සේරුවක් සහ පුළුල් අනුමත කිරීමේ ක්‍රියාවලියකින් අනතුරුවය. ලොයිඩ්ස් රෙජිස්ටර් මැරීන් ඇන්ඩ් ඕෆ්ෂෝර් ඒෂියා එල්.එල්.එල්.පී (Lloyd’s Register Marine & Offshore Asia LLP) සමාගම සමඟ එක්ව කටයුතු කරමින්, සමස්ත සහතික කිරීමේ ක්‍රියාවලිය හැසිරවූයේ, HIPහි බලශක්ති සේවා දෙපාර්තමේන්තුවයි.

    ඉන්ධන තොග වශයෙන් සපයන හම්බන්තොට ජාත්‍යන්තර වරාය සතු ඉන්ධන ගබඩා පර්යන්තය යුරෝපය සහ ආසියාව යා කරන ලොව කාර්යබහුලම සමුද්‍ර මාර්ගයේ සිට නාවික සැතපුම් 10ක (කිලෝමීටර 19ක්) පමණ දුරින් පිහිටීම, මෙම මාර්ගයේ බහුලව ගමන් ගන්නා යාත්‍රාවන් සියල්ලටම විශාල වාසියක් වනු ඇත.

    2021 තුල, HIP විසින් හසුරුවන ලද ඉන්ධන සැපයුම් සේවා වර්ධනය වීමත් සමග, මෙම ව්‍යාපාරය සඳහා වරාය සතු හැකියාව මනාව පෙනී යයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසන්නේ, ලොයිඩ්ස් රෙජිස්ටර් වැනි විශ්වාසනීය ජාත්‍යන්තර සංවිධානයක් විසින් ලබා දුන් මෙම පිළිගැනීම, ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රජාව තුල වරාය පිළිබඳ ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරනවා පමණක් නොව, ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් හා ගෑස් කර්මාන්තයද ඉහළ නැංවීමට පිටුවහලක් වන බවයි. “අපි නව වසරට පා තබන විට, ඉන්ධන සැපයුම් මෙන්ම වරාය විසින් සපයනු ලබන අනෙකුත් සේවාවන්හිද දැවැන්ත වර්ධනයක් දැකීම නිසැකයි. වරාය තුළ ආරක්‍ෂක රෙගුලාසි ඉහළම ප්‍රමිතීන්ගෙන් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරනවා මෙන්ම, අපගේ සේවා කාර්යක්ෂමතාවයද තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපගේ වර්ධනයට හේතු වන්නේ මෙම සියලු සාධකයන්ගේ සංකලනයයි,” ප්‍රධාන විධායක නිලධාරී සඳහන් කරයි.

    HIPG විසින් සිදු කරන ලද ඉන්ධන ගබඩා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අදියර දෙකකින් සමන්විත විය. අදියර දෙකම, එනම් ඉන්ධන ගබඩා පර්යන්තය සහ තෙල් ජැටි ද්විත්වයද ලොයිඩ්ස් FFS සහතිකය ලබා ඇත. ගබඩා පර්යන්තය සතුව ටැංකි 11 ක්, ආශ්‍රිත නල මාර්ග සහ ජැටි දෙකට අයත් පැටවීමේ/බෑමේ යන්ත්‍රෝපකරණ 8ක් ඇති අතර, ඒ සියල්ල සහතිකයට ඇතුළත් වේ. හම්බන්තොට වරාය ඉන්ධන ගබඩා පර්යන්තයේ දැනට පවත්නා උපරිම ගබඩා ධාරිතාව, අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් (VLSFO) සඳහා ඝණ මීටර් 51,000 ක් සහ මැරීන් ඩීසල් ඉන්ධන (MDO) සඳහා ඝණ මීටර් 23,000 ක් වේ. වරාය විසින් මෙම ඉන්ධන ගබඩා ඉතාමත්ම සුරක්ෂිතව පවත්වාගෙන යන බව ලොයිඩ්ස් සහතිකය ප්‍රත්‍යක්ෂ කරයි.
    මෙම සහතිකය, HIPහි අරමුණ පරිදි, අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ (IMO) ප්‍රමිතීන්ට අනුකූලව ඉන්ධන සහ ඊට අදාළ නිෂ්පාදන සැපයීමට රුකුලක් වනු ඇත. විමෝචන පාලන ප්‍රදේශවලින් පිටත ගමන් කරන නැව් සඳහා ඉන්ධන සැපයීමේදී ඉන්ධන වල සල්ෆර් සංයුතිය 0.50% m/m කට සීමා විය යුතු බවට රෙගුලාසියක් 2020 ජනවාරි මාසයේදී, IMO විසින් ඉදිරිපත් කළේය. මෙම නියාමනයත් සමඟ, ඉදිරියේදී ඉහළ සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් (HSFO) වෙනුවට අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් (VLSFO) භාවිතයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට හැකි වනු ඇත.

     

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.