fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එක රටක් එක නීතියක් වෙනුවෙන් වන්නිලා ඇත්තොත් ඉදිරියට

    එක රටක් එක නීතියක් වෙනුවෙන් වන්නිලා ඇත්තොත් ඉදිරියට

    “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ අදහස් දක්වා තිබේ.

    “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ මහජන අදහස් විමසීම මෙම දිනවල ඌව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරේ.

    පසුගිය 06 දා මහියංගනය ආදීවාසී ගම්මානයේදී ආදීවාසී ජනතාවගේ අදහස් ලබා ගැනීම සිදුකෙරුණු අතර ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ විසින් ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත තම ජන කොට්ඨාසය වෙනුවෙන් අදහස් සහ යෝජනා ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    “එක රටක් එක නීතියක්” ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිතුමාට ශක්තිය තිබෙන බව තමා විශ්වාස කරන බවත් කුමන බාධක පැමිණිය ද මෙම කාර්යය සාර්ථක කරගැනීමට අවස්ථාව ලැබේවායි තමා ආශීර්වාද කරන බවත් වන්නිල ඇත්තෝ එහිදී සඳහන් කර තිබේ.

    අනතුරුව ජනවාරි 08 වන දා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී වැඩසටහන ක්‍රියාත්මක විය.

    එහිදී කාර්ය සාධක බලකාය හමුවේ අදහස් දැක්වූ හෂීනා මහත්මිය සඳහන් කළේ ඉස්ලාම් නීතියට අනුව විවාහ වූ බවත් කිසිදු දැනුම් දීමකින් තොරව බදුල්ල කාතිවරයා විසින් ඉතා අසාධාරණ ලෙස තමාව සැමියාගෙන් දික්කසාද කිරීමට කටයුතු කර ඇති බවය.

    ඉස්ලාම් කාන්තාවට සිදුවන අසාධාරණය පිළිබඳව කතා කිරීමට කිසිවෙකුත් නොමැති බැවින් සහ තමන්ව කිසිවෙකු ගණන් නොගන්නා බැවින් “එක රටක් එක නීතියක්” වැඩසටහන ක්‍රියාත්මක වීම ඉතාම වැදගත් බවත් ඇය සඳහන් කළබව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

    ඌව වෙල්ලස්ස නිදහස් සටනේ මූලිකත්වය ගත්, බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉඩම් අයිතිය අහිමි කරනු ලැබූ පරම්පරා කිහිපයක නියෝජිතයන් අදහස් දක්වමින් රටේ ඉඩම් නීතිය මේ දක්වාත් සාධාරණ ලෙස ක්‍රියාත්මක නොවන බවත්, විදේශීය ආක්‍රමණයන්ගෙන් රට බේරා ගැනීමට මූලිකත්වය ගත් හා ඒ හේතුවෙන් දේපළ හා ජීවිත අහිමිවූ තම පවුල් වලට නිදහසෙන් පසුව හෝ මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටුවී නොමැති බවත් කාර්ය සාධක බලකායට පෙන්වා දෙන ලදි.

    රටේ ජීවත්වෙන අනෙකුත් ජනතාවට ලැබෙන අයිතිවාසිකම් වතුකරයේ ද්‍රවිඩ ජනතාවට නොලැබෙන බැවින් ඒ පිළිබඳව සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමු විය යුතුය. එමෙන්ම ඉඩම් ගැටලුව ද වතුකරයේ ජනතාව මුහුණ පා සිටින ප්‍රමුඛ ගැටලුවක් බව වතුකරයේ සංවිධාන කිහිපයක නියෝජිතයෝ කාර්ය සාධක බලකාය හමුවේ අදහස් දක්වමින් කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි, සාමාජිකයන් වන මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල යන මහත්වරුන් සහ කාර්ය සාධක බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.