fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"කොවිඩ් නිසා මට දෙවසරක් නැති වුණා ඉතිරි තුනේදී හැම පොරොන්දුවක්ම ඉටුකරනවා"

    “කොවිඩ් නිසා මට දෙවසරක් නැති වුණා ඉතිරි තුනේදී හැම පොරොන්දුවක්ම ඉටුකරනවා”

    කොවිඩ් වසංගතය හේතුවෙන් තමාට වසර දෙකක් නැති වුවද ඉතිරි අවුරුදු තුන තුළ ජනතාවට පොරොන්දු වුණ හැමදේම ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු පවසන්නේ් යමෙක් තවත් කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකෙන් පේන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවය බවත් ඇග බේරා ගන්න කතා නොකොට සාමුහිකව රට වෙනුවෙන් ජනතාව භාරදුන්න වගකීම ඉටු කළ යුතු බවත් තමා ද ඊට බැඳිලා සිටින බවයි.

    “දළදා වදින්න ගිය වෙලාවේ තරුණයෙක් ඇවිත් කිව්වා කොවිඩ් නිසා සර්ට අවුරුදු දෙකක් නැති වුණා. ඇයි මහජන මත විමසීමක් කරලා ඒ අවුරුදු දෙක ගන්නේ නැත්තේ කියලා අහනවා. මම කිව්වා ඔබතුමාව තමයි මගේ උපදේශක විදියට ගන්න ඕනේ කියලා. ජනතාව අමාරුකම දන්නවා. මේවා ජනතාවට පැහැදිලි කරලා දෙන්න ඕනේ.” යැයි ද ජනාධිපතිවරයා පවසා සිටියේ අද ආරම්භ වූ ජාතික පාසසල් දහසක් ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමිනි.

    එහි සමාරම්භය සනිටුහන් කරමින් මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය.

    “මා ජනාධිපතිවරයා වශයෙන් පත් වන්නටත් ප්‍රථම පසුගිය වසර පහ තුළ විවිධ ක්ෂේත්‍රවල බලයට පැමිණි විට කළ යුතු දේවල් පිළිබඳ අධ්‍යයනය කළා. අපි ඒ අවස්ථාවේ දී අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා සාකච්ජා කළා. ඒ අනුව තමයි අධ්‍යාපනයට මුදල් වෙන් කරලා, විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙන්නේ.
    අධ්‍යාපනය එක් තැනකට ගෙනල්ලා එක් අමාත්‍යවරයෙක් යටතේ, විවිධ විෂයයන්ට රාජ්‍ය ඇමතිවරුන් පත් කරලා තිබෙනවා. මට අවශ්‍යය ඒ වගේම මගේ ප්‍රතිපත්තියෙත් සඳහන් කරලා තියෙනවා අධ්‍යාපනය ලබන කොට කිසිම අවස්ථාවක සිසුවෙක් පාසල් යාම අතහරිනවානම්, ඒ අවස්ථාව වන විට ඔහුට හෝ ඇයට යම්කිසි හැකියාවක් ලැබෙන ආකාරයේ අධ්‍යාපනයක් අපි ලබා දිය යුතුයි.

    ඒ නිසා විශේෂයෙන්ම පෙර පාසල්වලට ප්‍රාථමික පාසල්වලදී ද්වීතීය අධ්‍යාපනයේදී තෘතීක අධ්‍යාපනයයේ දී ඒ විෂයය පිළිබඳ දැනුමක් ලබා දෙන්න මම පත් වුණු වහාම අපි ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීම සඳහා විශේෂ කමිටු දෙකක් පත් කළා. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා එන දරුවන්ට රටට, සමාජයට, ඒ වගේම ඔහුට ප්‍රයෝජනවත් වෙන විදිහේ දැනුමක් ලබා ගන්න අවශ්‍ය අධ්‍යාපන විෂයයන් සකස් කරන්න විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ගෙනල්ලා ඒ අයට උපදෙස් දුන්නා.

    විෂයය මොනවද කියන එක සකස් කිරීම අධ්‍යාපනඥයින්ට අයිති දෙයක්. මම හිතන්නේ මේ අවුරුදු දෙක තුළ මේ කාර්යය කරලා, ඒ කාර්යය ආරම්භ කිරීමට සුදානම් වෙලා තියෙන්නේ කියලා මට දැනුම් දීලා තියෙනවා. මම පත්වු පසු හැටදාහකට පමණ උපාධිධාරීන්ට පත්වීම් ලබා දුන්නා. මම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වෙලා ඉන්න කොට මගේ අමාත්‍යාංශයටත් එකවර අටසීයක් උපාධිධාරීන් පැමිණියා. අපි උපාධිධාරීන් විවිධ අංශවලට යොදවන කොට ඒ අයගෙන් රටටත්, සාමාජයටත් යම් කිසි සේවාවක් සිද්ධ වෙන්න ඕනෑ. නැත්නම් ඒ අයටත් ඔවුන්ගේ අනාගතය සාරවත්ව ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්නේ නැහැ.

    ඒ නිසා තමයි මම විශේෂයෙන්ම උපකුලපතිවරුන්ට දැනුම් දුන්නේ වහාම පටන් ගෙන තොරතුරු තාක්ෂණය, කළමනාකරණය වැනි විෂයයන් අනිවාර්යයෙන්ම ඒ අයට විෂයයක් හැටියට උගන්වන්න කියලා.
    අපි දන්නවා මේ ශතවර්ෂය තාක්ෂණය මුල්වුණු ශතවර්ෂයක. අපේ දරු දැරියන් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ ලෝකයත් සමග ඉදිරියට යන්න හැකි වුණොත්. අපේ රටට ලෝකයත් සමග ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ තාක්ෂණය දැනුම ඇති ශ්‍රම බළකායක් ඇති කළොත් පමණයි. ඒක තමා අපේ මුලික අරමුණ. අපි දන්නවා එදා ඉඳලා විද්‍යාව, ගණිතය, තාක්ෂණය සහ ඉංග්‍රීසි පිළිබඳ ගුරුවරුන්ගේ හිඟයක් පවතිනවා. අපි මේ ආරම්භ කරන පාසල් හරහා එක් ජාතික පාසලක් පමණක් නොවෙයි ඒ වටා තිබෙන කුඩා පාසලුත් පොකුරක් හැටියට ඉදිරියට යා යුතුයි. එක තමයි මේකේ අරමුණ.

    අපි මේ පාසල අධිවේගී, ෆයිබර් ඔප්ටික් අන්තර් ජාලය එක්ක සම්බන්ධ කරනකොට මේ රටේ ඉන්න ප්‍රවීණ ගුරුවරුන්ට මේ පාසලේ දරුවන්ටත් ඉහළ පැලැතින්තියේ පාසල්වල දැනුම ලබා දීමට හැකියාවක් ලැබෙනවා.
    මේ දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමට අන්තර් ජාලය සමග සම්බන්ධ වීම ඉතාම වැදගත්. මම පසුගිය කාලයේ විවිධ අංශ සමග සාකච්ජා කරන අවස්ථාවේ දී එක් තරුණයක් මට මුණ ගැසුණා. ඔහු ආවේ මගේ මැතිවරණ කාලයේ දී. සමාජ මාධ්‍ය කොහොමද භාවිතා කරන්නේ කියලා අදහස් දෙන්න. ඔහුට හොඳ දැනුමක් තිබුණා. මම ඒ තරුණයාගෙන් ඇහුවා මොන විශ්වවිද්‍යාලයෙන් ද උපාධිය ගත්තේ. ඔහු ඉගෙන ගෙන තිබුණේ ආනන්ද මහා විද්‍යාලයෙන්. ඒ තරුණයා මට කිව්වා ඔහු විශ්වවිද්‍යාලයකට ගියේ නැහැ. මම ඇහුවා ඔබ කොහොන්ද මේ දැනුම ලබා ගත්තේ. ඒ වෙනකොටත් ඔහු අමෙරිකාව, ඔස්ට්‍රෙලියාව වැනි රටවලට උපදෙස් දෙන සමාගමක අයිතිකාරයෙක්. මේ දැනුම සියල්ල අන්තර් ජාලයේ තියෙනවා. මම ඒ තරුණයාගෙන් ඇහුවා. මම ජනාධිපතිවරයා වශයෙන් ගමේ ඉන්න ඔබ වගේ පුද්ගලයන් බිහි කරන්න මම මොකක්ද කළ යුත්තේ. ඔබ කළ යුත්තේ මේ අධිවේගී අන්තර් ජාලය සමග සම්බන්ධ වෙන හැකියාව ගමට ලබා දෙන්න. ඉංග්‍රීසී දැනුම ඔවුන්ට ලබා දෙන්න. මේ දෙක කළොත් ඔවුන්ට වෙන කිසිවක් කරන්න ඕනෑ නැහැ. ඔහු වගේ ලක්ෂයක් තරුණ තරුණයන් මේ රටෙන් බිහි වෙයි කියලා කිව්වා. එක තමයි අපි කළ යුත්තේ.
    තාක්ෂණය, අන්තර්ජාලය දරු දැරියන්ට ලබා දෙන කොට අපි ප්‍රවේශම් විය යුතු දෙයක් තමයි. ඔවුන් නිසි ආකාරයෙන් එය භාවිතා කරනවා ද කියලා. දෙම්ව්පියන් අද තමන්ගේ දරුවන්ට දුරකථනය, අයි පැඩ් ලබා දෙනවා. ඒ අයට බොහෝ වේලාවට සමාජ මාධ්‍යවල කාලය ගත කලාට ඒක නොවෙයි තාක්ෂණය. දෙමව්පියන් හිතන්නේ ඉතාමත් ඉහළ තාක්ෂණයක් ලබා ගන්නවා කියලා. අපි ගුරුවරුන්, දෙමව්පියන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනෑ අන්තර් ජාලයේ ඒ දැනුම ඔවුන්ට ලබා ගන්න පමණක්.
    විශේෂයෙන් තාක්ෂණය අද සෑම ක්ෂේත්‍රයකටම අවශ්‍යයි. අද ළමයෙක් අට වසරේදී අධ්‍යාපනය නැවැත්තුවත් සාමාන්‍ය පෙළ අවස්ථාවෙදී තමන්ගේ අධ්‍යාපනය අතහැරියත් විශ්වවිද්‍යාල උසස් පෙළ, විශ්වවිද්‍යාල අවස්ථාවන්වලදී අධ්‍යාපනය අතහැරියත් ඒ මොන අවස්ථාවේදී වත් අපි ඒ දරු දැරියන්ට ඒ හැකියාවන් දියුණු කරන්න අධ්‍යාපන ක්‍රමවේදය සකස් වෙලා තියෙන්න අවශ්‍යයි. ඒ අයට පුළුවන් සාර්ථක රැකියාවක්, තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න. අද සෑම ක්ෂේත්‍රයකටම තාක්ෂණය අවශ්‍යයි.
    මේ ප්‍රදේශයේ කෘෂි කර්මාන්තයෙන් යැපෙන අය වැඩි පිරිසක් ඉන්නේ. රටේ තවමත් වැඩි දෙනෙක් නියැලෙන්නේ කෘෂි කර්මාන්තයේ. ඔවුන්ගේ ආදායම, ඵලදාව වැඩි කරන්න අපට අවශ්‍යයි. මේ සඳහා අද ලෝකයේ තාක්ෂණය විශාල ලෙස භාවිතා වෙනවා. ඒ වගේම දැනුම මම ජනතාව ඉදිරි පරම්පරාව ගැන හිතලා මේ රටේ හරිත විප්ලවක් ඇති කරන්න පිට රටින් ගෙනෙන රසායනික ද්‍රව්‍ය දාලා අපි දන්නවා හැම පළාතකටම වී වගාව කරන පළාත්වල වකුගඩු රෝගය, පිලිකා රෝගය. අපි ඉදිරි පරම්පරාව ගැන හිතලා හොඳ අදහසකින් කිව්වේ කාබනික පොහොර භාවිතා කරමු කියලා.
    කාබනික පොහොර කියන්නේ කොළ එකතු කරලා කොම්පෝස්ටි පොහොර හදන එකක් නොවෙයි. අද කාබනික පොහොර ඉතා දියුණු තත්ත්වකට ගිය විවිධ රටවල්වල භාවිතා වන දෙයක්. අපේ රටෙත් කාබනික පොහොර භාවිතා කරලා වගා කරන ගොවීන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. සෑම ක්ෂේත්‍රයකම තේ, එළවළු, වී. අපට අවසානාවක ගොවියන් වෙත මේ දැනුම ගෙනයන්නට පුළුවන් වුණේ නැහැ. අපි අවුරුදු දෙකක් පොහොර නොමිලේ ලබා දුන්නා.
    වී වලට සහතික මිළ රුපියල් පනහ දක්වා වැඩි කළා. අපි දන්නවා ගොවි මහතුන් පනහට තිබුණත් පනස් පහ, හැත්තෑව වගේම මිළකට අලෙවි කළා. එක හොඳයි. ගොවීන්ට ආදායම එන එක හොඳයි. අපි වේලාවට ජීවන වියදම වැඩි වෙලා ගණන් වැඩිවෙලා කියලා චෝදනා කරනවා. ගොවියාට හොඳ මිළක් දෙන විට ඒ භාණ්ඩවල මිළ ඉහළ යනවා. අපි වී කිලෝවක් රුපියල් පනහකට හැම සතයක්ම යොදවලා අපට දෙන්න පුළුවන් වෙන්නේ අනු හයකට. අපි වී කිලෝව හැටට, හැට පහට, හැත්තෑවට දුන්නොත් මිළ ඉහළ යනවා. මෑතකදී හම්බන්තොට, කුරුණෑගල වගේ මුං ඇට අස්වැන්න විශාල වශයෙන් ලැබුණා. ගොවීයෝ කිව්වා අපිට විකුණා ගන්න බෑ මේක. අපි රජයෙන් කිලෝවකට රුපියල් හාරසිය පනහක් දීලා මේ මුං ඇට ගත්තා. ඒ පළාතේ ජී.ඒ. හරහා තමයි කාර්යය කළේ. ඊට පස්සේ ගත්තු මුංඇට දෙසිය විසිපහ ගානේ සතොසින් අලෙවි කළේ. එක සාමාන්‍ය වෙළෙඳපොළේ දෙයක් නොවෙයි. නමුත් ඒ අවස්ථාවේදී ජනතාව වෙනුවෙන් රජය ඒ බර දරලා ගොවියා වෙනුවෙන් කටයුතු කළා. හොඳ මිළක් ලබා දෙන්න ඕනෑ. පාරිභෝගිකයාට අතට යනවා නම් ඒක මිළ අඩු කරන්න ඕනෑ. ඒ වගේම පාරිභෝගියාට දැරිය හැකි ආදායමකුත් ලබන්න ඕනෑ. අස්වැන්න ගොවියාට ලැබෙන මිළ අඩු කරන්න පුළුවන් කමක් නැහැ.
    මේ පැත්තේ ඉන්නවා උක් වවන ගොවියෝ. මම බලයට එනකොට එතනෝල් සම්පූර්ණයෙන් ගෙනාවේ පිටරටින්. සීනි කම්හල් එතනෝල් හදනවා. ඒවා හැම එකක්ම පාඩුවට ගියේ. එතනොල් සම්පූර්ණයෙන්ම ගෙන එක නැවැත්තුවා. දැන් සීනි කම්හල් සම්පූර්ණයෙන්ම ලාභයක් ලබනවා. මම හිතනවා ඒ ලාභය ගොවියාට ලබා දීලා තියෙනවා. එදා මැතිවරණයේ යනකොට හාරසියට වත් විකුණා ගන්න බැහැ කිව්ව ගම්මිරිස් අද එක්දාහස් දෙසීයකට කිලෝවක් විකුණා ගන්න පුළුවන්.
    අද සමහර අය චෝදනා කරනවා මේ කොවිඩ් වසංගතය මම රටට ගෙනාපු එකක් කියලා. අහිංසක ගම්වල ජනතාවත් හිතනවා ඇති මම තමයි කොවිඩ් වසංගතය රටට ගෙනාවේ කියලා. අවුරුදු 02ක් අපි බොහෝ දුක් වින්ඳා, නමුත් මම ලෝකයේ අනෙකුත් සෑම රටටකටම වඩා මෙය පාලනය කරන්න ක්‍රියා කරලා තියෙනවා. මුල් කාලයේදී අපි රට වැහුවා. පසුව අපි ලෝකයේ මේ එන්නත සොයා ගත්තට පස්සේ මුලින්ම එන්නත ගෙනවා. පළමු එන්නත 90%කට වඩා දීලා තියෙනවා. අනිත් අයට ලබා දීලා නැත්තේ ඔවුන් එන්නත ලබා ගන්න එන්නේ නැති නිසා. දෙවැනි එන්නත 86%ත් 90%ත් අතර ප්‍රමාණයකට ලබා දීලා තියෙනවා. දැන් අපි බූස්ටර් එන්නතත් ලබා දෙනවා. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා වැරදි මතවලට රැවටෙන්න එපා. බූස්ටර් එන්නත ලබා ගන්න. අපි ඇති වෙන්න ගෙනත් තියෙනවා එන්නත. මෙය ලබා ගැනීම තමයි මේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට ඇති එකම විසඳුම. එම නිසා එය ලබා ගන්න. බොරු මතවලට රැවටෙන්න එපා.

    අපට අවුරුදු 02ක් කොවිඩ් නිසා පාසල් අරින්නට නොහැකි වෙලා තිබුණා. නමුත් වෛද්‍යවරු දැන් අනුමත කරලා තිබෙනවා අවුරුදු 12න් ඉහළ අයටත් බූස්ටර් එන්නත ලබා දෙන්න පුළුවන් කියලා. අපි ප්‍රර්ථනා කරනවා නැවත මේ රට වහන්න, පාසල් වහන්න සිදු නොවේවා කියා. ඒ සඳහා අපි සියලුදෙනාම එකට වැඩ කළ යුතුයි.

    එන්නත ලබා ගන්න. මුඛ ආවරණ පළදින්න. මේ හරහා අපට පුළුවන් සමාන්‍ය ජන ජීවිතයකට මේ රට ගෙනයන්නට. අපට පුළුවන් කමක් නෑ නැවත රට වසන්න. අවුරුද්දකට ඩොලර් බිලයන 05කට ආසන්නව විදේශ විනිමයක් ලැබුණු මිලියන 04කට පමණ ආසන්න සංඛ්‍යාවක් යැපුණු සංචාරක ක්ෂේත්‍රය බින්දුවටම කඩාගෙන වැටුණා කොවිඩ් නිසා. දැන් අපි රට විවෘත කරලා, විශාල වශයෙන් සංචාරකයන් ගෙන්න ගන්න උත්සහා කරන අවස්ථාවේ දී දෙසැම්බර් මාසයේ විශාල සාර්ථකත්වයක් ලැබී තිබෙනවා. සෑම පළාතකම වගේ සංචාරකයන් සිටිනවා.
    පාස්කු ඉරිදා ප්‍රහාරයට ප්‍රථමයෙන් මේ රටට මසකට ලක්ෂ 02කට ආසන්න ප්‍රමාණයක් සංචාරකයන් පැමිණියත් ප්‍රහාරය සමඟ සංචාරකයන්ගේ පැමිණීම යම් මට්ටමකට අඩු වුණා. කොවිඩ් වසංගතය සමඟ බින්දුවට ගියා. මේ දෙසැම්බර් මාසයේ සංචාරකයන් 85,000ක් මේ රටට ගෙන්නට අපට හැකි වුණා. අප විශ්වාස කරනවා එන අවුරුද්ද තුළ ලක්ෂ 02ක් නොවෙයි ලක්ෂ 4ක සංචාරකයන් ප්‍රමාණයක් මේ රටට ගෙන එමට. අපි සෞභාග්‍යයේ දැක්මේ බලාපොරොත්තු වුණේ ඩොලර් බිලියන 05, ඩොලර් බිලියන 10 දක්වා වැඩි කරන්නට.
    විපක්ෂය ඇත්ත තොරතුරු ජනතාවට ලබා දෙන්නේ නෑ. මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු 02ක ඇතුළත. ඩොලර් බිලියන් 6.3ක් අපි සෑම අවුරුද්දෙම ණය ගෙවිය යුතුයි. මේ ණය පසුගිය ආණ්ඩු ගත්තේ. සංවර්ධනය වෙන්න පුළුවන්, වෙනත් කරණාවලට වෙන්න පුළුවන්. නමුත් මේ ණය අපි සෑම අවුරුද්දකම ගෙවිය යුතුයි. අපට සංචාර ක්ෂේත්‍රයෙන් එන අදායම කොවිඩ් වසංගතය නිසා නැති වුණා. අපේ ශ්‍රමිකයන් ගිහිල්ලා පිටරට වැඩ කරලා ඒ එවපු මුදල් අපට නැති වුණා. අපට 2020 පළමුවෙනි කාර්තුවේදී අපනයනවලින් ලැබෙන මුදලත් නැති වුණා. නමුත් දැන් අපේ අපනයන ආදායම ඉතා හොද මට්ටමේ පවතිනවා. අපි අපේ ශ්‍රමිකයන් විශාල වශයෙන් නැවත රැකියා සඳහා යවනවා.
    මම මේ තත්ත්වය දැනගෙන විදේශ විනිමය පාලනය කර ගැනීම සඳහා අවුරුදු එකහාමාරකට ඉස්සෙල්ලා වාහන අනයනය කරන එක නැවැත්තුවේ. සුඛෝපභෝගි භාණ්ඩ ගෙනෙන එක නැවැත්තුවේ. මේ රටේ නිෂ්පාදන කරන්න පුළුවන් භාණ්ඩ අපනයනය නැවැත්තුවා. ටයිල්ස් දැන් මේ රටේ නිෂ්පාදනය කරනවා. අනෙක් රටවල්වලට වඩා ඉහළ ප්‍රමිතියකින් අපි ඒවා නිෂ්පාදනය කරනවා. නමුත් හිඟ තත්ත්වයක් ඇති නොවෙන්න දේශීයව නිෂ්පාදනය කිරීම අපි වැඩි කර ගත යුතුයි. ඒ වගේමයි ඔබට මතක ඇති කහ ඇතුළු එවැනි භාණ්ඩ කීපයක් මම තහනම් කෙරුවා. කහවල මිල ඉතා අධික වුණා. සැමදෙනාම කහ වවන්න ගත්තා. දැන් අපි කහවලින් ස්වයංපොෂිතයි. අපි ධාන්‍ය වර්ග 16ක් නවත්තලා තියෙනවා. ඒවා මේ රටේ වගා කරන්නට පුළුවන්. කව්පි, මුංඇට මේ අපේ රටේ වගා කිරීමට හැකියාව තියෙද්දි ඇයි අපි අපේ සල්ලි පිටරට ගොවියෙක් දෙන්නේ. දේශීය කර්මාන්තය හා දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීම තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය. එය තමයි අපි ඉදිරියට ගෙන යන්නට අවශ්‍යය. විවෘත ආර්ථිකයත් සමඟ දේශීය කර්මාන්ත වැහිලා ගියා. අපට ලෝකයේ අනික් රටවල් සමඟ සම්බන්ධ නොවී ඉදිරියට යාමට නොහැකියි. ඒ අයගේ තාක්ෂණය අප ලබා ගන්න ඕනෑ, දැනුම ලබා ගන්නට ඕනෑ, වෙළඳපොළ ලබා ගන්නට ඕනෑ. නමුත් දේශීයව අපිත් නිෂ්පාදනය කරන්නට ඕනෑ. එය තමයි අපි අධ්‍යාපනය හරහා තරුණ තරුණියන්ට ලබා දෙන්නේ. ස්වයං රැකියා ඇති කර ගන්නට, නව ව්‍යාපාර ඇති කර ගන්නට. මම මේ මෑතකදී ප්‍රදර්ශනයකට ගිය අවස්ථාවක තරුණයෙක් ඔහු නිර්මාණය කරපු ඉහළම තාක්ෂණයක් ඇති 3D ප්‍රින්ටර් මට ක්‍රියාත්මක කරලා පෙන්නුවා. අපි මේ දැනුම භාවිතා කරලා, ගමේ තරුණ තරුණියොත් මේ නව නිපැයුම්වලට, නව ව්‍යාපාරවලට යොමු කිරීමට තමයි අපි මේ අධ්‍යාපන පුළුල් කරන්න අවශ්‍යය. ඒ දැනුම ගමට ගෙන්නට අවශ්‍යය. එයට අවශ්‍යය යටිතල පහසුකම් අපි දියුණු කරන්නේ මේ සඳහායි. මේ වසරේ අවසානය වන විට සෑම පාසලකටම අධිවේගී වයිබර් ඩිජිටල් තාක්ෂණය මේ වයිබර් ඔප්ටික්ස් හරහා සෑම පාසලක්ම අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට හැකියාව ඇති බව මට දන්වලා තියෙනවා. අපි එය දැනටමත් විශාල පාසල් සංඛ්‍යාවකට ලබා දී තිබෙනවා. මේ කොවිඩ් වසංගතය තිබෙන කාලය තුළත් අපි විශාල වැඩ කොටසක් අධ්‍යාපනයේ සිදු කෙරුවා.
    අපි පසුගිය අවුරුදු 02 ශිෂ්‍යයන් 10,000ක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කළා. විවෘත විශ්වවිද්‍යාලය පුද්ගලික සමාගම් සමඟ එක්ව තාක්ෂණය අංශය සමඟ උපාධි 10,000ක් සඳහා ශිෂ්‍යයන් 10,000ක් බඳවා ගන්න කටයුතු කරලා තියෙනවා. පුද්ගලික අංශයේ ඒ සමාගම් සමග තමයි බාහිර උපාධිය කරන්නේ. සමාගම්වලටම ඒ අයට රැකියාවට යාමට හැකි ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. අපි නව විශ්වවිද්‍යාල ඇති කරලා තියෙනවා. අධ්‍යාපනය කෙරෙහි අපි විශාල අවධානයක් යොමු කරලා කටයුතු කරන්නේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවන් ලබා දීමට.
    අපේ රජයක් යටතේ ඉදිරියේදී ජාතික පාසල් ඇති කරලා, නගරවල ඇති පාසල් හොඳ පාසල් කියන සම්මතය ගමේ ඉන්න දරු දැරියන්ටත් ලබා දෙන්නට තමයි මේ වැඩපිළිවෙල ආරම්භ කෙරුවේ. මම ඉල්ලා සිටිනවා ගුරුවරුන්ගෙන් නිලධාරීන්ගෙන් මේ සදහා ඇප කැපවෙලා වැඩකරන්න. අපි රටක් විදියට එකට කණ්ඩායමක් ලෙස වැඩ කරන්න ඕනෑ.
    එන්නත් දෙන්නෙත් හමුදාව, පොහොර දෙන්නත් හමුදාව. ඇයි ඒ. හමුදාව කණ්ඩායමක් ලෙස වැඩ කරන්න පුහුණු කරලා තියෙනවා. අද සමහරුන්ගෙන් මොනවා හරි ඇහුවම ඒක රාජ්‍ය ඇමැතිවරයාගේ වැඩක් කියනවා. රාජ්‍ය ඇමැතිවරයාගෙන් ඇහුවම කියනවා කැබිනට් ඇමැතිවරයාගේ වැඩක් කියලා. සමහර වෙලාවට ඒක පළාත් සභාවට අයිතියි කියනවා. නිලධාරීන්ගෙන් ඇහුවම කියනවා නීති නිසා කරන්න බැහැ කියලා. මට රාජ්‍ය ඇමැතිවරයෙක්ව අස් කරන්න වුණා. රාජ්‍ය ඇමැතිවරයෙක් ගිහින් කියනවා නම් මේ ආණ්ඩුව වැරදියි කියලා ඒ කියන්නේ එයත් වැරදියි කියලා. හැම මන්ත්‍රීවරයෙක්ම සාමුහිකව ආණ්ඩුව කෙරෙහි වග කිව යුතුයි. ඔහුම වැරදියි කියනවා නම් ඔහු වැඩ කරන්නේ නැහැ. මම ලේකම්වරයෙක් වශයෙනුත් හමුදා නිලධාරියෙක් වශයෙනුත් වැඩ කරලා පෙන්වලා තියෙනවා. අපි සාමුහිකව වැඩ කළේ.
    යමෙක් තවත් කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකෙන් පේන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවයයි. ඇග බේරා ගන්න කතා කරන්න එපා. සාමුහිකව රට වෙනුවෙන් ජනතාව භාරදුන්න වගකීම ඉටු කරන්න. මම ඊට බැඳිලා ඉන්නවා. කොවිඩ් නිසා මට වසර දෙකක් නැති වුණත් මේ වුරුදු තුන තුළ ජනතාවට පොරොන්දු වුණ හැමදේම කරනවා.
    දළදා වදින්න ගිය වෙලාවේ තරුණයෙක් ඇවිත් කිව්වා කොවිඩ් නිසා සර්ට අවුරුදු දෙකක් නැති වුණා. ඇයි මහජන මත විමසීමක් කරලා ඒ අවුරුදු දෙක ගන්නේ නැත්තේ කියලා අහනවා. මම කිව්වා ඔබතුමාව තමයි මගේ උපදේශක විදියට ගන්න ඕනේ කියලා. ජනතාව අමාරුකම දන්නවා. මේවා ජනතාවට පැහැදිලි කරලා දෙන්න ඕනේ.
    මොන විපක්ෂයේ හිටියත් රටක් විදියට හොඳ දෙයක් කරනවාට අකුල් හෙලන්න හොඳ නැහැ. අපිට ජනතාව බලය දිලා තියෙනවා. මන්ත්‍රීවරයෙක් කියන්නේ ජනතාව පත්කරපු බලගතු පුද්ගලයෙක්. අද හැමකෙනෙකුටම කැබිනට් ඇමැතිකමක් ඕනේ. මම කොහොමද හැමෝටම කැබිනට් ඇමැතිකම් දෙන්නේ. අපි ජනතාවට කිව්වා ඇමැතිවරු 30ට වඩා වැඩි කරන්නේ නැහැ කියලා. අද ඇමැතිවරු 30ක් ඉන්නවා. රාජ්‍ය ඇමැතිවරු 40යි කියලා ව්‍යවස්ථාවෙම තියෙනවා. ඒ හතළිහ පත්කළාම ඔක්කොම හැත්තෑවක් ඉන්නවා. ඊට එහාට යන්න විදියක් අපිට නැහැ.මම කැමැති නැහැ ජනතාව රවටලා, බොරු සභාග රජයන් හදලා, මේවා වැඩි කරන්න. අපි ජනතාවට පොරොන්දු වුණා. වැඩ කරන්න ඇමැතිකම් ඕනේ නැහැ. වැඩ කරන්න අවශ්‍ය නම් ඕනෑ තරම් හැකියාව තියෙනවා.
    නිලධාරීන්ගෙන් මම ඉල්ලා සිටිනවා කරුණාකරලා වැඩ කරන්න පුළුවන් කොහොමද කියලා නීතියෙන් බලන්න. වැඩ කරන්න බැරි වෙන්නේ කොහොමද කියලා බලන්න එපා. රටක් විදියට යන ගමනේදී රාජ්‍ය සේවය ඉතා වැදගත්. නිලධාරීන්ගේ සේවය ඉතාම වැදගත්. ප්‍රතිපත්ති කියන්න පුළුවන් ඒවා ක්‍රියාත්මක කරන්නේ ලේකම්වරයාගේ සිට පහළට ඉන්න නිලධාරීන්. කරුණිකව රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වසර තුන තුළ ඔබේ සම්පූර්ණ සහාය ජනතාවට සේවය කිරීමට ලබා දෙන්න කියලා. මම ඡන්ද බලාගෙන නොවෙයි වැඩ කරන්නේ. ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නයි මට ඕනේ.
    මම ගම සමග පිළිසඳරක් වැඩසටහන අරන් ගමට ගියා. කොවිඩ් නිසා ඒ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න බැරි වුණා. සෑම පළාතකම රාජ්‍ය ආයතනවලට මම එනවා. මහජනතාව වෙනුවෙන් අපේ රට වෙනුවෙන් අපේ සේවය ලබා දිය යුතුයි.”

    ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාවේ වීඩියෝව පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.