fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටික් ටෝක් වීඩියෝව තරුණයෙකුට මරු කැඳවයි

    ටික් ටෝක් වීඩියෝව තරුණයෙකුට මරු කැඳවයි

    ටික්ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් 17 හැවරදි තරුණයෙක් පිහි ඇනුමකින් ඝාතනය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය අද නිවේදනය කළේය.

    එසේ මරණයට පත්ව ඇත්තේ වැල්ලම්පිටියේ පදිංචිව සිටි අබ්දුල් නැමැති අයෙකි. පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය මාර්ගයේදී මෙම ඝාතනය ඊයේ දහවල් සිදුව ඇති බවය.

    ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයෙන් මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර සොයා බැලීමකදී ටික්ටොක් වීඩියෝවත් මෙම ඝාතනයට මුල්වී ඇතැයි මෙතෙක් තහවුරු වී ඇති බවත් අනාවරණය වන්නේ නැත.

    ඝාතනයට ලක්වූ තරුණයා වැල්ලම්පිටිය සේදවත්තේ සහ තිහාරියේ පදිංචි මිතුරන් දෙදෙනෙක් සමග මෝදර පිහිටි පාසලක් අසලට ගොස් ගමන් කිරීමේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කරයි.

    තිහාරියේ පදිංචි තරුණයා කලක් ග්‍රෑන්ඩ්පාස් හී පදිංචිව සිටි අයෙක් වන අතර ඔහුගේ ඥතිවරියක් ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල රන්දිය උයන නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින බව පොලීසිය සදහන් කරයි. එම තරුණයා ඊයේ උදෑසන ඥාති නිවසට පැමිණ සේදවත්තේ පදිංචිව සිටින මිය ගිය මිතුරා මුණ ගැසීමට ගොස් ඇත. එහිදී තවත් මිතුරෙක් ඔවුන්ට මුණ ගැසී ඇති අතර එම මිතුරාගේ ඉල්ලීම මත ඔහු අධ්‍යාපනය ලැබූ මෝදර පාසල අසලට ඊයේ දහවල් ඔවුන් තිදෙනා ගමන් කර තිබේ.

    පොලීසිය සඳහන් කරන්නේ පාසල අසලදී පිරිසක් සමඟ මෙම තරුණයින් යම් ගැටුමකට මුලපුරා ඇති බවට තොරතුරු ඇති බවය. එම සිදුවූම සමථයකට පත්ව තිදෙනාම හේනමුල්ල තට්ටු නිවාස සංකීර්ණය වෙත පාගමනින් ගමන් කරමින් සිටියදී හය දෙනෙකුගේ කණ්ඩායමක් පිටුපසින් පැමිණ ඝාතනයට ලක්වූ තරුණයාගේ හිසට පහරක් එල්ලකරමින් “ ටික්ටොක් පො—“ යැයි සදහන් කර පිහියකින් ඇන පළාගොස් තිබෙන බව පොලීසිය සදහන් කරයි.

    එම තරුණයින් 06 දෙනා මෙතෙක් හදුනාගෙන නැති අතර ඝාතනයට ලක්වූ තරුණයා සමඟ සිටි සෙසු තරුණයින්ද ඒ ගැන නිසි තොරතුරු පවසන්නේ නැති බව පොලීසිය පවසයි. මාර්ගයේ ඇති ආරක්ෂක කැමරා ද දුරකතන ජාල විශ්ලේෂණයක්ද ඔස්සේ විමර්ශන සිදුවන බව පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.