fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කලාපයේ තර්ජන ගැන කථාකරන්න ඇමති සරත් ඩුබායි පොලිස් මූලස්ථානයට

    කලාපයේ තර්ජන ගැන කථාකරන්න ඇමති සරත් ඩුබායි පොලිස් මූලස්ථානයට

    තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයට ආපසු පැමිණීමෙන් පසුව කලාපයට එල්ලවන තර්ජන පිළිබඳව ඩුබායි පොලිස් ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල්ලා කලීෆා සමඟ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සාකච්ඡාවක නිරත ව තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ දිනවල සංචාරකයක නිරතවන අමාත්‍යවරයා ඉකුත් 14 වෙනිදා මෙම සාකච්ඡාවට එක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    කඩා හැලෙන අන්තවාදී මතවාදයන්ට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද සහ මත්ද්‍රව්‍ය ගලායාම කඩාකප්පල් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුහු සාකච්ඡා කළ බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සදහන්ය.

    ආචාර්ය සරත් වීරසේකර මහතාට ගෞරව සම්මාන මුරයක්ද පැවැත්වූ බව එම නිවේදනයේ දැක්වේ. මෙම හමුවෙන් පසු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඩුබායි පොලිස් අණ සහ පාලන මධ්‍යස්ථානය වෙත ද ගොස් තිබේ.

    අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක නාරද සමරසිංහ, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් මධුරංග පෙරේරා සහ මැදපෙරදිග කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සෙයිද් අන්සාර් මවුලානා යන මහත්වරුන්ගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමන්විත වී තිබේ. ජාතික ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ නියෝජිත පිරිසට එක් ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.