fbpx
තවත්
    මුල් පිටුවspecialපසු ප්‍රසව සමයේ පවුල් සංවිධාන ක්‍රම භාවිතය

    පසු ප්‍රසව සමයේ පවුල් සංවිධාන ක්‍රම භාවිතය

    කාන්තාවක් වූ ඔබ සැමවිටම සිතන්නේ ඔබේ පවුල පිළිබඳවයි. දරුවකු ලැබුණු පසු මුළු ජිවිතයම කැපකරන්නේ ඒ වෙනුවෙන්. එහෙත් ඔබ වගේම පවුලේ සතුට සමගිය රඳා පවතින්නේ අඹු – සැමි බැඳියාවෙන්. අඹු – සැමි බැඳියාව දුරස් නොවීමට ඔබ දෙදෙනාගේම අවධානය ඉතා වැදගත්. ඒ නිසාම පවුල් සංවිධාන ක්‍රමයන් පිළිබඳ අවබෝධය තිබීම මේ ඉදිරි ගැටුම් වළකා ගන්න උපකාරී වේවී. ඒ නිසා අපි චුට්ටක් ඒ ගැන කතා කරමු.

    උපදෙස්
    පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණි නිලන්ති මහත්මිය, අනුරාධපුර රෝහල.

    සාමාන්‍යයෙන් දරු ප්‍රසුතියෙන් පසු ,
    සාමාන්‍ය දරු ප්‍රසුතියකින් පසු සති 06 ක් වනවිට යළි ස්ත්‍රී බීජ එහෙම නැත්නම් ඩිම්භමෝචනය සිදුවීම පටන් ගන්නවා. මේ නිසා දරු උපතකින් සති 06 කට පසු දරු පිළිසිඳ ගැනීමක් වෙන්න හැකියාව තියනවා.

    දරුවාට මව් කිරි දෙන අවදියේ දී බොහෝ කාන්තාවන්ට දරු ප්‍රසුතියෙන් පසු මාස 06 ක් යනතුරු ආර්ථවය සිදුනොවෙන්නත් පුළුවන්. ඒ වගේම අර්ථවය සිදුවුනත් ක්‍රමවත්ව නොවෙන්න පුළුවන්.

    නමුත් මේ විදියට තිබුණත් ඩ්ම්භමෝචනය සිදුවෙන්න පුළුවනි. ඒ නිසා අර්ථවය සිදුවන තුරු කල් ගන්නේ නැතුව පවුල් සංවිධාන ක්‍රමයක් භාවිතය සුදුසුයි.
    ඒ වගේම නිසි ලෙස අර්ථවය සිදු නොවන මේ කාලයේ දී ස්වභාවික පවුල් සංවිධාන ක්‍රම ඒ කියන්නේ ආරක්ෂිත කාලයේ දී දෙදෙනාගේ එක්වීම සිදු නොකර සිටීම වගේ දේවල් කරන්න හැකියාව නෑ.

    මව්කිරි දෙන මවක්,
    මව්කිරි ලබා දෙන මවක් පළමු මාස 06 තුළ දී පවුල් සංවිධාන ක්‍රමයක් ලෙස ගිලින පෙති භාවිතය සුදුසු නෑ. ඒ මන්ද ගිලින පෙති වල තියන ඊස්ට්‍රජන් හෝමෝන මඟින් මව්කිරි ප්‍රමාණය අඩු කරන නිසා,

    මළ දරු ප්‍රසුතියකින් පසු පවුල සංවිධාන ක්‍රම භාවිතය
    මළ දරු උපතකින් සති 04 කට පසු දරු පිළිසිඳ ගැනීමක් සිදුවිය හැකි බැවින් පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත කළ යුතු වෙනවා.

    ගබ්සාවකින් පසු පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත කිරීම.
    ගබ්සාවක් වූ කාන්තාවක් ගබ්සාවෙන් සතියක් ඇතුළත පවුල් සංවිධාන ක්‍රමයකට යොමු වීම වැදගත්.

    සීසර් සැත්කමින් පසු,
    සීසර් සැත්කමකින් සති 06 කට පසු පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත කළ යුතු වෙනවා. ඒත් ඇය පවුල් සංවිධාන ක්‍රමයක් ලෙස ලූපයක් දැමීමට අදහස් කරන්නේ නම් එය මාස 03 ක් දක්වා ප්‍රමාද කිරීම වඩාත් සුදුසුයි. එමඟින් ඒ දක්වා කාලය වෙනත් පවුල් සංවිධාන ක්‍රමයක් භාවිතය සුදුසුයි.

    අවශ්‍ය දරුවන් ප්‍රමාණය ලබා ඇති විට පවුල් සංවිධානය ලෙස සුදුසු දේ.
    අවශ්‍ය දරුවන් ප්‍රමාණය ලබා පවුල් සම්පුර්ණ කර ඇති යුවළක් නැවත දරුවන් අවශ්‍ය නැති බවට ස්ථිරව ඔබ දෙදෙනා නිගමනයට පැමිණි ඇත්නම්, කාන්තාවන්ට ස්ත්‍රී වන්ධ්‍යාකරණයත් / පුරුෂයාට පුරුෂ වන්ධ්‍යාකරණයත් සුදුසු වේ.

    කාන්තාවන්ට ස්ත්‍රී වන්ධ්‍යාකරණය, ප්‍රසුතියෙන් පසු රෝහලකින් නික්ම යාමට පෙර සිදු කිරීම වඩාත් පහසු වේවී.

    ප්‍රසුතියෙන් සති 06 කට පසුව කාන්තාව හෝ ස්වාමිපුරුෂයා සැත්කමකට ලක්වෙන්නේ නම් එහෙත් වෙනත් තාවකාලික පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත කළ යුතුයි.

    ප්‍රසුතියෙන් සති 06 ක් ඉක්මවා යාමට පෙර අර්ථව චක්‍රය ආරම්භ වූ නම්,
    යම් හෙයකින් ප්‍රසුතියෙන් සති 06 ඉක්මවා යාමට පෙර අර්ථව චක්‍රය ආරම්භ වී ඇත්නම් එවැනි ඔබ දෙදෙනාට සුදුසු පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත කළ යුතුයි. ඔබට සුදුසු පවුල් සංවිධාන ක්‍රමය තෝරාගත යුත්තේ ඔබ දෙදෙනා වන අතර ඔබට අවශ්‍ය ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණිය විසින් ලබා දෙනු ඇත.

    ප්‍රසුතියෙන් සති 06 කට පසුව අර්ථවය ආරම්භ නොවු විට දරුවාට මව්කිරි පමණක් ලබාදීම මාස 06 ක් දක්වා සිදු කළ යුතුයි. එවන් විටක මුල් මාස 06 ඇතුළත පිළිසිඳ ගැනීමක් සිදුවීමේ ඉඩකඩ අඩුයි.

    එහෙත් එසේ නොවේ යැයි කියන්න බැහැ. ඒ නිසා සුදුසු පවුල් සංවිධාන ක්‍රමයක් වෙත යොමු විය යුතුයි.

    මේ ගැනත් සිතන්න.
    ඔබ වෛද්‍යයම හේතුන් සහිත කාන්තාවක් නම්, එනම් හෘද රෝග හා වෙනත් රෝග සහිත කාන්තාවක් නම් ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි විසින් ඔබට පවුල් සංවිධාන ක්‍රමයක් තෝරා ගැනිමේ දී අවශ්‍ය සහය ලබා දේ.

    ඔබගේ පවුලේ සතුට සමඟිය රඳා ගනිමින් සුරතල් නිරෝගි දරු සිහින ද අපේක්ෂා කරගැනීමට නම් ඔබ මේ සඳහා අවධානය යොමු කිරීම වැදගත්.

     

    කේෂාණි සෙනවිරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.