fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස්පති ගැන පොලිස්පති කී දේ

    පොලිස්පති ගැන පොලිස්පති කී දේ

    රාජ්‍ය නායකයෙක් තරමට පොලිස්පතිත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමෙන් බැදී සිටින බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කොළඹ මහාධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

    ඒ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ලෙහි සාක්ෂිකරුවෙක් ලෙස ඊයේ සාක්ෂි ලබාදෙමිණි.

    පොලිස්පතිවරයාට පියවරක් ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි අංශයකින් ලබාදෙන තොරතුරක් නිශ්චිත බුද්ධි තොරතුරක් විය යුතුමදැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු එසේ ප්‍රකාශ කළේය.

    " නැහැ. සෑම විටම රාජ්‍ය බුද්ධි අංශයෙන් නිශ්චිතම බුද්ධි තොරතුරු ලැබෙන්නේ නැහැ. පොලිස්පතිවරයා තමයි පවතින තොරතුරු වර්ධනය කිරීමට සහ ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය පියවර ගත යුත්තේ. එබැවින් යම් දෙයක් විය හැකි කියලා තියෙනවා නම් ඒ දේ වුණොත් මොනාද කරන්නේ කියන තැන ඉඳලයි කටයුතු කරන්න ඕනේ. උදාහරණයක් හැටියට හෙට යම් ත්‍රස්ත ප්‍රහාරයක් වෙනවා කියලා තොරතුරක් ආවොත් අද එය වුනොත් කියන අවදානම අරගෙනයි ආරක්ෂිත වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ." යැයි එහිදී සඳහන් කරමින් සී.ඩී. වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ පෙන්වා දෙනු ලැබුවේ තමාට ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි අංශකින් තොරතුරක් ලැබුණහොත් තමා එය හොඳින් අධ්‍යයනය කර, බුද්ධි අංශ සහ වෙනත් පළපුරුදු විශේෂඥයන් සමඟ සාකච්ඡා කර පියවරගන්නා බවය.

    ඔබට අති රහස්‍ය වාර්තාවක් ලැබුණහොත් ඔබ එය එලෙසින්ම පහළ නිලධාරින් වෙත යවන්නේ දැයි මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේය.

    "මම එසේ කරන්නේ නැහැ. මම කරන්නේ එම වාර්තා හොඳින් අධ්‍යනය කරලා, අවශ්‍ය උපුටා ගැනීම් කරලා පොලිස්පතිවරයාගේ සුදුසු නියෝග සමඟ පහළට යවන එක. මොකද රාජ්‍ය නායකයෙක් තරමටම පොලිස්පතිත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බැඳිලා ඉන්නවා. ඒ නිසා මම නියෝග දුන්නේ නැහැ. මම දන්නේ නැහැ කියන්න බැහැ." යැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඊට පිළිතුරු දුන්නේය.

    පොලිස්පතිවරයා ජාතික ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයා වන නිසා රාජ්‍ය ආරක්‍ෂක ඇමතිවරයා ලෙසම පොලිස්පතිවරයාද රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටින්නේ යැයි අධිකරණය හමුවේ සී.ඩී. යික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය.

    ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ නිත්‍ය නියෝජිතයා වශයෙන් ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය නායකයාට වුවත් උපදෙස් දීමට පොලිස්පතිවරයාට හැකියාව ඇති බව මෙන්ම තමාට නොලැබුණේ යැයි කීමේ හැකියාවක් පොලිස්පතිවරයාට නොමැති බවත් සී.ඩී. වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ අවධාරණය කළේය.

    අත්‍යවශ්‍ය අවස්ථාවකදී රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සහ අනෙකුත් අංශ වල සාමාජිකයින් කැඳවා සාකච්ඡා කර තීරණ ගැනීමේ බලතල පොලිස්පතිවරයාට ඇති බව ද සී.ඩී. වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය.

    පොලිස්පතිවරයා රජයෙන් වැටුප් ලබන පුද්ගලයකු පමණක් නොවන අතර ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ නිත්‍ය නියෝජිතයකු වන ඔහු ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රභල අන්දමින් කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නේය. රටේ විධායකය ගන්නා තීරණ භූමියේ ක්‍රියාත්මක කරන්නේ පොලිස්පතිවරයා බවද සී.ඩී. විකුමරත්න මහතා අවධාරණය කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.