fbpx
තවත්
    මුල් පිටුවspecialකුස්සියේ මරණ වළක්වාගන්න සඳුන්පිටිය තරුණියගේ මරණයෙන් පාඩමක් ඉගෙන ගමු ?

    කුස්සියේ මරණ වළක්වාගන්න සඳුන්පිටිය තරුණියගේ මරණයෙන් පාඩමක් ඉගෙන ගමු ?

    ගිනි ඇවිලීමකින් මිය ගිය වැලිකන්දේ සඳුන්පිටිය ගම්මානයේ නිවසක පදිංචිව සිටි 19 හැවිරිදි විවාහක තරුණියක් වන අයෝශා කුමුදුනීගේ මරණය ගැන සැබෑ ලෙසම සිදුවුයේ ගෑස් කාන්දුවකින් ගිනි ඇවිලීමකින්ද එසේත් නොමැති නම් ඇය සියදිවි හානිකර ගැනීමකට කළ ගිනි තබා ගැනීමක්ද යන්න පිළිබදව ඇත්තේ තවමත් නොවිසිදුනු ගැටළු ගණනාවකි.

    ඇගේ සිරුරට ගිනි ඇවිලී ඇයව මුලින්ම වැලිකන්ද රෝහලට ඇතුළත් කෙරී ඇත්තේ ඉකුත් 13 වෙනිදා පෙරවරු 10.30 ත් 11.00 අතර කාලය තුළදීය. එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ ඇය පමණි. සිරුරට ගිනි ඇවිලී ඇය කෑ ගසන හඬින් ඇය සිටි නිවස දෙසට මුලින්ම පැමිණ ඇත්තේ අසල්වැසි කාන්තාවකි. ඒ වන විට ගිනි ඇවිළුනු ඇය සිට ඇත්තේ නිවසින් පිටතට පැමිණ නිවස ඉදිරිපිට කොටසකය. එම අසල්වැසි කාන්තාව පොලීසියට පවසා ඇති ආකාරයට නම් ගිනි ජාලාවකින් ඇය වැසී සිට නැත. පිළිස්සුනු ඇදුම් ඉවත්කර නිවස තුළට ගොස් ඇයට ඇදුමක් රැගෙනවිත් එය අන්දවා ඇත්තේද එම අසල්වැසි කාන්තාවකි.

    මේ කාන්තාවගෙන් වැලිකන්ද පොලීසිය මේ ගැන කතාකරන්නේ 17වෙනිදායින් පසුවය. ඒ 13 වෙනිදා සිදුවූ එම ගිනි ගැනීම ගැන වැලිකන්ද පොලීසිය පවා දැන්ගන්නේ 17 වෙනිදා වූ බැවිනි. වැලිකන්ද පොලීසිය තම පොලිස් බල ප්‍රදේශයේ සිදුවූ මෙම ගිනි ගැනීම ගැන මුල් තොරතුර දැන ගන්නේද කොළඹ මරදාන පොලිස් ස්ථානය මගින් ලබාදුන් පොලිස් පණිවුඩයකට අනුවය.

    වැලිකන්දේ සිදුවූ ගිනි ගැනීමක් ගැන මරදාන පොලීසියට තොරතුරු ලැබෙන්නේ කොළඹ ජාතික රෝහලින්ය. වැලිකන්ද රෝහලට ඉකුත් 13 වෙනිදා ඇතුලත්කරන ඇය පොලොන්නරුව රෝහලටත් එතැනින් ජාතික රෝහලටත් එවා තිබුණේ වැඩිදුර ප්‍රතිකාර සඳහාය. කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ප්‍රතිකාර ඒකකයේ දින කිහිපයක් ප්‍රතිකාර ලැබූ ඇය වෛද්‍යවරුන්ට පවසා තිබුණේ මාළු වෑංඡනය ගෑස් ලිපේ තබා ගිනි දල්වන විට එකවරම සිරුරට ගිනි ඇවිලුනු බවය. ඇය එහිදී තමන් සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරූ බවක් හෝ ඒ සදහා මොනයම් හෝ ඉන්ධනයක් භාවිතා කළ බවක් කියන්නේ නැත. මේ කතාව ඇය තමාට ප්‍රතාකාර කළ වෛද්‍යවරුන්ට පවසන්නට වූයේද දැඩි පිළිස්සුම් තුවාල වලට ප්‍රතිකාර ලබමින් වේදනාවෙන් මිරිකී සිටින අවස්ථාවකදීය.

    කොළඹ ජාතික රෝහලේ පිහිටි පොලිස් මුරපොල ක්‍රියාත්මක වන්නේ මරදාන පොලිස් ස්ථානය මගිනි. පැය 24 පුරාම රෝහල් පොලීසිය අවධියෙන් සිටින අතර රෝහලට රැගෙන රෝගීන් සම්බන්ධයෙන් සිටින්නේ නිරන්තරයෙන් ඇස ගසාගෙනය. විශේෂයෙන් අණතුරු සහ පහරදීම් වලින් සිදුවන තුවාල සම්බන්ධයෙන් එම මුරපොල නිලධාරීන් සටහන් ලබාගෙන ඒ ගැන අදාල සිදුවීමට මුල්වන ප්‍රදේශයේ පොලිස් ස්ථාන දැනුවත් කරති.

    වැලිකන්දේ මෙම තරුණිය කොළඹ ජාතික රෝහලට රැගෙන එන විට තමාට සිදුවූයේ කුමක්ද කියා හරිහැටි කතාබහ කිරීමටවත් ඇයට හයියක් නොවීය. ඇය සිටියේ දැඩි වේදනාවකිනි. ඒ අනුව රෝහල් පොලීසියේ නිලධාරීන්ට ඇගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ 17 වෙනිදාය. රෝහල් පොලීසියේ නිලධාරීන්ටද ඇය පවසා සිටියේ වෛද්‍යවරුන්ට කී දේමය. සිය දිවි හානිකර ගැනීමක උත්සහයක් ගැන හෝ එවැනි සැකයක් උපදවා ගැනීමට හැකි තරමේ වචනයක්වත් පොලිස් නිලධාරීන් හමුවේ පවසන්නේ නැත. ඒ බව මරදාන පොලීසිය මෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවා මෙම තීරුවට සනාථ කළේය.

    මරදාන පොලිස් ස්ථානයෙන් වැලිකන්ද පොලිස් ස්ථානයමෙම ගිනි ගැනීම දැන ගන්නේ ඒ අනුවය. මරදාන පොලිස් ස්ථානයේ සටහන්වලට අනුව 17 වෙනිදාම වැලිකන්ද පොලිස් ස්ථානයට එම දැනුම් දීම කර ඇත. ඒ බව වැලිකන්ද පොලිස් ස්ථානයයේ ඇති සටහන්වලින්ද කහවුරු වේ.

    හැබැයි වැලිකන්ද පොලිස් ස්ථානයේ දැනුම්දීමට අනුව අදාල ගිනි ගැනීම සිදුවූ නිවසට පොලොන්නරුව අපරධ ස්ථාන පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරීන් ගොස් පරීක්ෂාකරන්නේ 19 වෙනිදාය. ඒ ඇය ගිනි ගැනීමට ලක්ව සතියකට ආසන්න කාලයකට පසුවය.

    ඇය පදිංචිව සිටි නිවස කුඩා නිවසකි. මුළුතැන් ගෙය ඇත්තේ සාලයට වම්පසිනි. මුළුතැන් ගෙයි ප්ලාස්ටික් බඩු භාණ්ඩ රැසකි. පොලිිතින් කඩදාසිවලින් වෙන් වූ බිත්තියක් ද එහි විය. නිදන ඇදක්ද වූයේ මුළුතැන් ගෙයිමය. මදුරු දැලක්ද අකුළා ගැටගසා තිබුණේය.

    සොකෝ නිලධාරීන් මේ දේවල් සියල්ලක්ම සටහන්කර ගත්තේය. ඒ අයට නිවස තුළ සිදුවූ ගිනි ගැනීමක කිසිදු ලක්ෂණයක් නිරීක්ෂණය නොවීය. අසල්වැසි කාන්තාවගේ තොරතුරු මත සොකෝ නිලධාරීන් ඇය ගිනි ගෙන සිටිනු ඇය දුටු ස්ථානය පරීක්ෂා කලේය. එම ස්ථානයේ ඇත්තේ තද පැල්ලමක් පමණි. එසේම මූඩිය විවරකර මුළුතැන් ගෙයි අඩක් අවසන් වූ භූමිතෙල් බෝතලයක්ද සොකෝ නිලධාරීන්ගේ අවධානයට යොමු විය. ගෑස් සිලින්ඩරය මෙන්ම රෙගුලේටරය ද ඒ අයගේ පරීක්ෂාවට ලක්විය. මේ සියල්ලක්ම සිදුවන්නේ 19 වෙනිදාය.

    ඒ අතර වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ද මේ ගැන බොහෝ දෙනෙකුගෙන් කටඋත්තර ගත්තේය. ඒ අතර මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂියක් ලෙස පොලීසිය පෙන්වන්නේ ඇගේ සැමියාගේ සාක්ෂියයි. සැමියා පැවසුවායැයි පොලීසිය කියන්නේ එදින බිරිඳ තමා සමඟ බහින්බස් වීමක් සිදුවූ බවකි. එය බහින්බස් වීමක්ද රණ්ඩුවක්ද යන්න පැහැදිලි නැතත් දෙදෙනා අතර විරසික භාවයක් සිදුව ඇත. අනතුරුව ඔහු නිවසින් පිටව ගොස් ඇත. වැලිකන්ද පොලීසිය පැත්තෙන් ඉන් එහාට කියන කාරණාව වන්නේ ඇය සිය දිවි හානිකර ගන්නා බවට සැමියාට වට්ස් ඇප් ඇමතුමක් ගෙන පැවසූ බවකි. ඇය භූමිතෙල් සිරුරට හලාගන්නා බවක් සැමියා දැක ඇති බවද පොලීසිය සදහන් කරයි. ඒ ගැන සැමියා ප්‍රකාශයක් පවා ලබාදී ඇති බවද කියයි.

    පොලීසිය තවත් දෙයක් මෙහිදී කියයි. ඇය ගිනි ගන්නා විට ගින්න නිවා දමා ඇයට රෝහලගත කිරීමට මැදිහත් වූ අසල්වාසී කාන්තාවගේ ප්‍රකාශයෙන්ද ඇය සියදිවි හානිකර ගැනීමේ අපේක්ෂාවෙන් ගිනි තබා ගත් බව සනාථ වන බවය. එම කාන්තාව පවසනවායැයි පොලීසිය කියන්නේ ඇයට ඇඳුමක් ගෙන ඒමට නිවස තුළට ගිය ඇය මුළුතැන් ගෙයි බිම තැන තැන පැල්ලම් කිහිපයක් දුටු බවත් එම පැල්ලම් භූමිතෙල් විය හැකි බව ඇය පවසන බවය. එසේම ලිපේ මාළු ව්‍යාංජනයක් තිබෙනු තමා නොදුටු ඇය පවසා ඇති බවද පොලීසිය කියයි.

    පොලීසිය මේ ගිනි ගැනීම ගැන කියන්නේ එය පමණක් නොව. මුළුතැන් ගෙය තුළදී ගිනි ඇවිලීමක් සිදුවී නම් එසේ නැති නම් ගෑස් කාන්දුවකින් මෙම ගින්න හටගත්තේ නම් මුළුතැන්ගෙට හානි සිදුවිය යුතු බවය. මුළුතැන් ගෙයි ප්ලාස්ටික් භාණ්ඩ ඇතත් ඒවා පවා උණුවිය යුතු බවත් එවැනි ලක්ෂණ සොකෝ නිලධාරීන්ගේ නිරීක්ෂණයට හසුවී නැති බවත් පොලීසිය කියයි. මේ සෑම නිරීක්ෂණයක්ම සිදුවන්නේ සතියකට පමණය.

    මේ සියළු කාරණා අනුව පොලීසිය පැත්තේ නිගමනය සහ තර්කය වන්නේ ඇගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බවකි. එසේ නොමැතිව ගෑස් කාන්දුවකින් හෝ වෙනයම් අනතුරකින් ඇයගේ සිරුරට ගිනි ඇවිලී ඇති බවක් පොලීසියට පේන්නේ නැත. එවැන්නක් පොලීසිය දකින්නේද නැත. අඩුම තරමින් ඇය නිවසින් පිටත ගිනි තබා ගත්තේනම් ගිනි ලබාගත් ගිනි පෙට්ටිය හෝ වෙනයම් උපකරණයක් තිබිය යුතුය. ගිනි ගැනීමට ලක්වූ ඇගේ ගින්න නිවා පිළිස්සුනු ඇදුම් ගලවා නිරුවතින් හෝ අඩනිරුවතින් සිටි ඇයව රෝහලට රැගෙන යන්නට ඇදුමක් ගන්නට කලබලයෙන් නිවස තුළට ගිය අසල්වැසි කාන්තාවගෙන් ගෑස් ලිප උඩ මාළු ව්‍යංජනයක් තිබුණදෙැයි ප්‍රශ්න කළ පොලීසිය ඒ ගිනි පෙට්ටිය හෝ ගිනි තබාගැනීමට ගින්දර සොයාගත් යමක් ගැන ප්‍රශ්න කළේදැයි ඇත්තේ ගැටළුවකි. ඇය නිදා ගන්නා ඇද මත නම් ගිනි පෙට්ටියත් තිබී සොකෝ නිලධාරීන් නම් සොයාගෙන තිබුණි. ඒ සතියකින් පසුවය. එසේම එවන් කලබල තත්ත්වයක් හමුවේ ලිපේ තියෙන ව්‍යාංජනය යමෙකුට මතකයේ තිබේදැයි ඇත්තේ සැබෑම ගැටළුවකි. එසේම ඒ සිදුවීමෙන් සතියක පසුවය.

    පොලීසියේ කතාව එය වූවත් ඇගේ පියාද දියණිය පැවසූ බව කියමින් මාධ්‍යට පවසා තිබුණේ ඇය ගෑස් ලිප පත්තුකරන්නට ගොස් මෙම අනතුර සිදුවූ බවකි. මරණාසන්න තුවාල තබා සිටි ඇය දරා ගැනීමට නොහැකි තරමේ වේදනාවකින් මිරිකෙමින් සිටියදී බොරුවක් කියයිද? එවන් බොරුවක් ඇය ඒ වන විට සිටින තත්ත්වය හමුවේ මතකයට නැගේද? ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට ඇය බොරුවක් ගොතමින් කියයිද? මේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය යුතුමය. ඇගේ මරණයේ සැබෑ අභිරහස විසදෙන්නේ එවිටය.

    මෙම ගිනි ගැනීම ගැන පොලීසියේ විග්‍රහය සිය දිවි හානිකර ගැනීමකි. මරණාසන්නව සිටි අවසන් ප්‍රකාශයෙන් කියැවෙන්නේ මාළු ව්‍යාංජනය ලිපේ තබා ගෑස් ලිප දල්වන විට සිරුරට ගිනි ඇවිළුණු බවය.

    සොකෝ නිලධාරීන් එම ගෑස් ලිපට ගෑස් ගැබෙන රෙගුලේටරය හා ගෑස් ටැංකිය මෙන්ම ගෑස් ටැංකියත් ලිපත් අතර රැගෙන යන රබර් බටය ගැන විශේෂ අවධානයක් යොමු කලාට එම ලිප දල්වන කොටස ගැන අවධානයක් යොමු වූ බවක් පොලීසිය පැත්තෙන් කියැවෙන්නේ නැත. ඇතැම් විට ගෑස් ලිපේ ගිනි ගල නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඇය නොදැනුවත්වම ලිප දැන්නොවී ගෑස් පිටතට යාමකින් පසු නැවතත් ලිප දල්වන්නට ගොස් පිටතට ගිය ගෑස් වලින් ගිනි ඇවිලෙන්නට ඇතැයි අනුමානයක්ද මෙහිදී කරන්නට පළුවනි. මේ ගැන පොලීසිය හෝ සොකෝ නිලධාරීන් සොයා බැලූ බවක් නම් අනාවරණය වන්නේ නැත. මූළුතැන් ගෙයි ඇති කිසිදු උපකරණයකට ගිනි ඇවිලීමක් සිදු නොවන්නේ ඇය ගිනි ඇවිලෙමින් නිවසින් පිටතට දුවගොස් උදව් ඉල්ලන නිසා යැයිද විශ්වාස කරන්නට පුළුවනි.

    මේ ගැනත් පොලීසිය යම් සොයා බැලීමක් කරන්නේ නම් ඇගේ මරණය සියදිවි හානිකර ගැනීමකින් සිදුවූවක් බව කියනවා වෙනුවට අපේ රටේ ගෘහණියන්ගේ නොසැලකිලිමත්කම ගැන රටට කියා තවත් කාන්තාවක් මෙවන් අනතුරකින් ගලවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.