fbpx
තවත්
    මුල් පිටුවspecialරාජ්‍ය සේවය අකාර්යක්ෂම ද?

    රාජ්‍ය සේවය අකාර්යක්ෂම ද?

    අය වැය යෝජනාව ඉදිරිපත් කිරීමේදී රාජ්‍ය සේවය අකාර්යක්ෂම යැයි මුදල් ඇමතිවරයා පැවසීය. මහජන බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය සේවය පිළිබඳව මහජන විවේචන පවතී.

    මහජනයාගේ බදු මුදල් මහජන සුබසිද්ධිය වෙත යළි ආයෝජනය කිරීම, එය මනා කළමණාකාරිත්වයකින් ක්‍රමානුකූලව සිදු කිරීම, මහජන සේවයේ අරමුණයි. මෙය මහජන කේන්ද්‍රීය පාලන ක්‍රමයක තිබිය යුතු මූලික ගුණාංගයකි. මහජන මුදල්, රාජ්‍ය දේපල අවභාවිතාව ලොව පුරාම දක්නට ලැබෙන දෙයකි. රාජ්‍ය සේවකයා දහසකුත් එකක් අණ පණතෙන් බැඳුන, තම ජීවිතය ද තමාට අයත් නැති, අසරණ පුරවැසියෙකි. ඔහුට, හෘද සාක්ෂිය සහිතව සමහර කාර්යයන් කළ නොහැක. මානුෂික ලෙස සත්‍යවාදීව හැම විටම කටයුතු කළ නොහැක. එහෙත්, සත්‍යවාදීත්වයත්, අවංකකමත් රාජ්‍ය සේවකයා ගෙන් නිරතුරුවම අපේක්ෂා කෙරේ. අපේක්ෂා සහ ප්‍රායෝගික තත්ත්වය අතර විශාල පරතරයක් පවතී. මේ පරතරය ඇතිවී ඇත්තේ ඇයි?

    සත්‍යගවේෂී ගේ විශ්ලේෂණයට අනුව ඒ මෙසේය.
    1. අන්තෝජටා බහිජටා නීති අණපනත් රාශියකින් රාජ්‍ය සේවකයා බැඳ තැබීම.
    2. දේශපාලනීකරණය
    3. නුසුදුස්සන් ට තැන දීම සහ සුදුස්සන් එකතැන පල් කිරීම සහ සුදුස්සන්හට බාධා පැමිණවීම.
    4. අවම වේතන, වෙනත් ප්‍රතිලාභ සහිත රැකියා වීම, අභිප්‍රේරණයක් නොමැති ඒකකාර වෘත්තියක් වීම.
    5. නව්‍යකරණයට ඇති අධිකතර ප්‍රතිරෝධය.
    6. නිලධාරීවාදය.
    7.ජාතික ප්‍රතිපත්ති වල ඌණතාවයන්
    8.ඉලක්කගත නොවීම.
    9. වයස්ගත ගතානුගතික ඇටකුණා වූ ඉහළ නිලධාරීන්, සහ කේලාම් ඕපදූප සංස්කෘතිය

    ඉහත දැක්වූ කරුණු සාවධානව සළකා බලන විට රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම ජාතික අවශ්‍යතාවයකි. මක් නිසාද යත්, එය රටේත්, ජනතාවගෙත් ජීවනාලිය නිසාය.

    ඇත්තටම රාජ්‍ය සේවය අකාර්යක්ෂම ද?

    නැත. කොවිඩ් 19 ව්‍යසනය හමුවේද, සුනාමි, ගංවතුර,නායයාම් වැනි ව්‍යසන වලද, විභාග සහ මැතිවරණ කටයුතු වලද රාජ්‍ය සේවය මනාව ක්‍රියාත්මක වනබව කුහක නොවන ඕනෑම අයෙකුට පෙනී යන කරුණකි.

    හැට පැන්න රාජ්‍ය සේවකයෝ

    අයවැය තුළින් යෝජිත පරිදි, රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීම කෙතරම් වාසි සහගතද යන්න මතභේදාත්මකය.

    රජය මුහුණපා ඇති අධික මූල්‍ය අර්බුදය හමුවේ ගැසූ එක් පැලැස්තරයක් ලෙස මෙය දැක්විය හැක. මෙහි වාසි ලෙස නව රැකියා ලබා දීම තාවකාලිකව නැවැත්වීමට හැක. ඒ සඳහා වැය වන මුදල් මෙන්ම විශ්‍රාම පාරිතෝෂික සඳහා සිදුවන වැය අවම කළ හැක.

    එහෙත්, අවාසි ලෙස, රජයේ රැකියා උත්පාදනය අවම වීම, මේ නිසාම ගතානුගතික රාජ්‍ය සේවයක් බවට සමස්ත රාජ්‍ය සේවය තව දුරටත් ආගාධයක් කරා ගමන් කරනු ඇත.

    නිරවුල් මනසකින් නිරීක්ෂණය කරනවිට, විශ්‍රාම වයසට එළඹෙන විට බොහෝමයක් රාජ්‍ය සේවකයින් ශාරීරික සහ මානසිකව අබලන් වීමකට ලක්වන බව හඳුනාගත හැක. මෙය රටේ සමාජ ආර්ථික සහ සංස්කෘතික පීඩනය මත සිදුවන්නක් මෙන්ම ලෝක ධර්මතාව වන අනිත්‍යය මත සිදුවන්නකි.

    මේ හේතුවෙන් රාජ්‍ය සේවයේ, ධූරාවලියේ ඉහළම සිටින්නන් අකාර්යක්ෂම නිලධාරීන් බවට පත්ව ඇත. එලෙසටම, ඉහළ නිළධාරීන් අකාර්යක්ෂම වනවිට පහළ ඇත්තන් එලෙසටම පරිවර්තනය වේ. මෙය විෂම චක්‍රයක් ව ඇත. මෙය රාජ්‍ය සේවය පමණක් නොව, ව්‍යවස්ථාපිත නීති සකසන පාර්ලිමේන්තුව කරා අපේ මනාපයෙන් දක්කන්නේද වයෝවෘද්ධයන් නොවේද? බලකාමය සහ ධනකාමය මත රටක් වශයෙන් අප අසමත් ව ඇත්තේ මේ නිසාද?

    එඤ්ඤං
    මං
    සත්‍යගවේෂී

    සත්‍යගවේෂී

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.