fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මේ දැනුත් ඉන්ධන තොගයක් ගොඩබානවා - දැනටත් මාසෙකට ඇති" - ගබඩා පර්යන්ත...

    “මේ දැනුත් ඉන්ධන තොගයක් ගොඩබානවා – දැනටත් මාසෙකට ඇති” – ගබඩා පර්යන්ත සභාපති

    මෙරට මේ මොහොත වනවිටත් මාසයකට පමණ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් හිඟයක් ගැන අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා පවසයි.

    අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා කියාසිටියේ රට මේ මොහොතේත් ඉන්ධන තොගයක් ගොඩබාමින් සිටින බවත් ඉන්ධනවල කිසිම අඩුවක් නොමැති බවයි.

    “ඉන්ධන වල කිසිම අඩුවක් නෑ, ඒ නිසා නිකන් කලබලවෙලා ඉන්ධන පිරවුම්හල් වටලන්න එපා. මම බොහොම වගකීමෙන් කියනවා රටට අවශ්‍ය ඉන්ධන මේ මොහොතේ අපේ ගබඩාවන්වල තියෙනවා. ඊට අමතරව මම මේ කතා කරන මේ මොහොතේත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගොඩබාමින් සිටිනවා අපේ මුතුරාජවෙල. ඊට අමතරව හෙට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් අපි ගෙන්වා ගන්නවා. 19 වනදා නැවතත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගෙන්න ගන්නවා. ඒ අනුව වගකීමෙන් කියනවා ඉන්ධනවල කිසිදු අඩුවක් නෑ.

    සාමාන්‍යයෙන් ඉන්ධන පිරවුම්හල්වලින් මිලදී ගන්නේ දවසකට හෝ දෙකකට අවශ්‍ය ඉන්ධන තොග. මේ මොහොතේ ඔක්කොම වටලලා ඕක ගහගත්ත ගමන් ඒගොල්ලෝ ඇනවුම් කරනතුරු ඉන්ධනවල පොඩි අඩුවීමක් තියෙනවා. ඒ නිසා මිනිස්සු ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල ඉන්නවා. ඇනවුම් කරපු ඒවයි, ගබඩාවල ඇති ඉන්ධනයි එකතු කරාම මාසෙකට වගේ ඉන්ධන තියෙනවා. සපුගස්කන්දෙන් අපි සියයට 5ක් 10ක් පමණ බෙදාහැරීම් කළා. සපුගස්කන්ද වැසීමත් සමඟ එම සියලුම බෙදාහැරීම් මේ මොහොතේ කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවලට ගෙන්වාගෙන බෙදාහැරීම් කටයුතු සිදුකරනවා.

    පෙට්‍රල් ෂෙඩ් එකකින් අපිට ඇනවුම් කළහොත් පැය 24 ක් ඇතුලත එම තොග බෙදාහැරීමට කටයුතු කරනවා ඒක අපේ වගකීමක්. ලෝඩ් දෙකක් බාන ෂෙඩ්වල මේ කලබලේත් එක්ක 4ක් 5ක් දානවා. ඉතින් ඒවා ඔක්කොම අපි ලබාදෙනවා කිසිම අඩුවීමකින් තොරව. ජනතාව නිකන් කලබල වෙලා තියෙන්නේ. පෙරේදා නැතිවෙනවා කිව්වා, ඊයේ නැතිවෙනවා කිව්වා, අද නැතිවෙනවා කිව්වා, කිසිම අඩුවීමක් නැතුව මේ වෙනකොට ඉන්ධන බෙදාහැරීම සිදුකරනවා.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.