fbpx
තවත්
    මුල් පිටුවspecialබෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ පූර්ව සූදානම

    බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ පූර්ව සූදානම

    2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පූර්ව සූදානම් මෙහෙයුම ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව මේ දිනවල ක්‍රියාත්මක වේ. මෙහි දී සැපයුම් සේවාවන් හි අධිගුණාත්මක භාවයක් රඳවා ගැනීම බලධාරීන්ගේ අරමුණ වී තිබේ.

    මේ යටතේ, හිම ඉසව්වල ප්‍රධාන තරග බිමක් වන චොංජියාකෝ (Zhangjiakou ) තරග කලාපයේ සැපයුම් සේවා ගොඩනැංවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. උළෙල නිල වශයෙන් ආරම්භ වන්නේ 2022 පෙබරවාරි 04 වැනිදායි.

    ක්‍රීඩා උළෙලේ ප්‍රධාන තරග ස්ථාන වන, ජාතික ස්කී පැනීමේ මධ්‍යස්ථානය, ස්කී උද්‍යානය සහ ශීත ඔලිම්පික් ගම්මානය Zhangjiakou කලාපයේ පිහිටා ඇත. මේ වන විට, එහි ඔලිම්පික් ව්‍යාපෘති 76ක ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිමා වී තිබේ. පරීක්ෂණ තරග මාලාවක් සහ ජාත්‍යන්තර පුහුණු සතිය මේ මස අගභාගයේ සිට මෙම කලාපයේ දී පැවැත්වීමට නියමිතය.

    ක්‍රීඩා උළෙල අතරතුර, Zhangjiakou කලාපයේ, සමස්ත තරග බිම් සඳහා 100% ක පූර්ණ හරිත බල සැපයුමක් ලබාදෙනු ඇත. වසංගත වැළැක්වීම හා පාලනය සම්බන්ධීකරණය සඳහා ද, පරිපූර්ණ සැලැස්මක් සකස් කර තිබේ. මේ යටතේ, ක්‍රීඩකයන් සඳහා සංවෘත ජෛව බුබුළු ක්‍රියාත්මක වන බැවින්, ඔවුන්ගේ සුවපහසු පැවැත්ම සඳහා, බැංකු, තැපැල්, වියළි පවිත්‍රකරණ සේවා සහ අධිපහසුකම් සහිත වෙළඳසැල් වැනි පාරිභෝගික සේවා රැසක් Zhangjiakou ශීත ඔලිම්පික් ගම්මානයේ ස්ථාපනය කෙරේ.

    මේ අතර, බෙයිජිං හි ඉදිකර ඇති, ඇතැම් තරග පරිශ්‍ර පසුගිය දා හිමෙන් වැසී ගොස් තිබිණ. මෙවර බෙයිජිං නගරයට මුල් හිම පතනය සිදුවූයේ වෙනත් වසරවලට වඩා කලිනි. හිම ඉවත්කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවූ බව බලධාරීහු කියා සිටියහ. කෙසේවෙතත් මෙය ලොවපුරා ක්‍රීඩකයන්ට කල්තියාම කෙරෙන ඇරයුමක් බඳුය.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.