fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක්

    චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක්

    ‍චීනයේ ශැංහයි නගරයේ සාර්ථකව පැවැත්වෙන සිවුවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දී ව්‍යවසායකයෝ 62කට අධික පිරිසක් සිය නවතම නිෂ්පාදන 100ක් පමණ එළිදැක්වීමට එක්ව සිටිති.

    එම නිෂ්පාදනවලින් 50%කට වැඩි සංඛ්‍යාවක් ගෝලීය වශයෙන් ප්‍රථම වරට එළිදැක්වීම, විශේෂත්වයකි. මෙම දැවැන්ත ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකික නිෂ්පාදනයන්ට ද ඉහළ ආකර්ෂණයක් හිමිව තිබේ.

    මෙවර ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා ව්‍යාපාර 18ක් එක්ව සිටීම කැපීපෙනේ. කුළුබඩු, තේ, පොල් නිෂ්පාදන, ආහාර වර්ග සහ මැණික් ආදී විශේෂ ශ්‍රී ලාංකික නිෂ්පාදන මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර චීනයේ එම නිෂ්පාදන ප්‍රචලිත කිරීමට ඉන් අවස්ථාව උදාවනු ඇත.

    චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලොව විශාලතම මිලදී ගැනීම් සහ සැපයුම් වේදිකාවක් බවට පත්ව ඇති බව ඊට එක්ව සිටින ගෝලීය ව්‍යවසායකයෝ පෙන්වා දෙති.

    මෙය ලොව පුරා ආයෝජකයන්ට මෙන්ම ව්‍යවසායකයන්ට චීන වෙළඳපොළට පිවිසීම සඳහා සැකසෙන මහඟු අවස්ථාවක් ද වේ.බිලියන 1.4ක ජනගහණයක් සිටින රටක් වශයෙන් චීනය සතුව ඇත්තේ ලොව කිසිදු ව්‍යවසායකට නොසලකා හැරිය නොහැකි දැවැන්ත වෙළඳපොළකි.

    චීන පාරි‍භෝගිකයන්ගේ අවශ්‍යතා අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින් නව තාක්ෂණික නිෂ්පාදිත සඳහා ද ඉහළ වෙළඳපොළක් එයින් නිර්මාණය ‍වී තිබේ.

    ශැංහයි නගරයේ ජාතික ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී නොවැම්බර් 5වැනිදා ඇරඹුණු සිව්වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නොවැම්බර් 10වැනිදා අවසන් වේ.

    රටවල් 58ක් හා ජාත්‍යන්තර සංවිධාන 3ක් ජාතික ප්‍රදර්ශනයට එක්ව සිටින අතර, රටවල් හා ප්‍රදේශ 127ක ව්‍යවසායකයෝ 3000කට අධික පිරිසක් ව්‍යාපාරික ප්‍රදර්ශනයට එක් ව සිටිති.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.