fbpx
තවත්
    මුල් පිටුවspecialසතට සෙත සදන ⁣ජිනපඤ්ජර පිරිත

    සතට සෙත සදන ⁣ජිනපඤ්ජර පිරිත

    බුදු දහම හා සබැඳුනු බෞද්ධයාට පිරිත යනු ආගන්තුක වදනක් නොවේ. පොත් වහන්සේ යන ගෞරවාන්විත වදනට උරුම කම් කියන පිරිත් පොත් වහන්සේ හෙවත් පිරුවානා පොත් වහන්සේ චතුභාණවාරපාළි යන නමින් ද හඳුන්වනු ලැබේ. ත්‍රිපිටකයේ සුත්‍ර පිටකයේ දීඝ, මජ්ඣිම, සංයුක්ත, අඞ්ගුත්තර, ඛුද්දක යන නිකායන්ගේ අඩංගු සුත්‍ර එක් කොට තැනූ ⁣මෙම පිරිත් පොත් වහන්සේගේ උපග්‍රන්ථයෙහි එම සූත්‍ර හෙවත් පිරිත් අනුගමනය කරමින් පසුකාලීන මහතෙරුන් වහන්සේලාගේ අනුදැනුමින් නිර්මාණය කරන ලද පිරිත් ද දක්නට ලැබේ. මෙම උපග්‍රන්ථයෙහි සඳහන් වන්නේ ශාන්තිකරණ ක්‍රියාදාමයට පහසුවෙන් අනුගත වන ලෙස නිර්මාණය කර ඇති පිරිත් ය. එම පිරිත් බුද්ධ,ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නයේ ගුණ නැවත නැවත ප්‍රකාශ වන අන්දමෙනුත් එමඟින් සියලු රෝග,සියලු දෝශ දුරලා සෙත් ප්‍රාර්ථනා කෙරෙන අන්දමෙනුත් අනූන වේ.

    ඒ අතරින් ශ්‍රී ලංකාවේ මතු නොව තායිලන්ත, මියන්මාර ආදී සමස්ත ථෙරවාදි බෞද්ධ ලෝකයේ ම ප්‍රචලිත පිරිතක් වන්නේ ජිනපඤ්ජර පිරිතයි. ජිනපඤ්ජර පිරිත පිළිබඳව පර්යේෂණයක් කළ ලන්ඩන් පාලි ග්‍රන්ථ සමාගමේ වර්තමාන ලේකම් ජර්මන් ජාතික ආචාර්ය Petra Kieffer-Pülz විසින් “Extra canonical Parittas: The Jinapañjara, Jayapañjara, Mahājinapañjara or Ratanapañjara” නමින් එය එළි දක්වා තිබෙන අතර එහි විවිධ රටවල් වල භාවිත වන ජිනපඤ්ජර පෙළෙහි එන වෙනස් කම් පිළිබඳව ද සඳහන් කොට ඇත. උදාහරණයක් ලෙස වර්තමානයේ ශ්‍රී ලංකාවේ භාවිත ජිනපඤ්ජර පිරිතෙහි 16 වන ගාථාව වන ඉච්චේ ච ආදී තැන් පටන් 22 ගාථාව වන සබ්බාවමංගලමුපද්දවදුන්නිමිත්තං….. සංඝානුභාවපවරේන පායාතු නාසං ආදී ලෙසින් ඇති ගාථා සත භාවිතා වන්නේ ලංකාවේ දී පමණි.

    සාමාන්‍යයෙන් වර්තමානයේ භාවිත මුද්‍රිත පිරිත් පොත් වල උපග්‍රන්ථයෙහි පස් වැනි පිරිත ලෙස සඳහන් වන්නේ මෙම ජිනපඤ්ජරය යි. ජින යනු බුදුරජාණන් වහන්සේයි. පඤ්ජරය යනු මැදිරිය හෙවත් සැකිල්ලයි. එහෙයින් මෙම පිරිතෙන් අපේක්ෂා කරන්නේ පුද්ගල ශරීරාංග වලට ත්‍රිවිධ රත්නය සම්බන්ධ කරමින් ශරීරය ව⁣ටා අධ්‍යාත්මික ආරක්ෂාවක් ඇති කිරීමයි.
    පරිසමන්තතො තායති – රක්ඛතීති පරිත්තං යනුවෙන් හාත්පසින්ම ආරක්ෂාව ගෙන දෙන බැවින් පිරිත පොදුවේ හඳුන්වනු නමුත් එම පාඨය මෙම ජිනපඤ්ජරය හැඳින්වීමට අතිශයින් උචිත බව අපගේ හැඟීමයි.

    තායිලන්තයේ සුලබ ව බුදුගුණ පාඨය සේ භාවිතා වන මෙම ජිනපඤ්ජර පිරිතේ ආරම්භ ද එහි ම බව ඔවුන්ගේ මතය වෙයි. ජිනපඤ්ජරය උතුරු වයඹ දිග තායිලන්තය හෙවත් ලන්නා ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුවක් විසින් මෙය රචනා කරන ලද බව උපකල්පනය කරන අතර ජිනපඤ්ජර පාඨ පැරණි බුරුම ග්‍රන්ථ වල ද සඳහන් වන බැවින් එය බුරුමයේ දී රචනා වූ බව තවත් මතයකි. බුරුමයේ මෙය රතනපඤ්ජර නමින් හැඳින්වේ.
    තායිලන්තයේ වර්තමානයේ භාවිතා යන ආකාරයට මෙම පිරිත අනුවර්තනය කරන ලද්දේ වර්ෂ 1788 – 1872 කාළයේ විසූ Somdej Toh හෙවත් Somdet Phra Buddhacarya නම් වූ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. ශ්‍රී ලංකාවේ දැනට භාවිත පිරිත් පොත් වහන්සේ සම්පාදනය වී අවසන් වන්නේ මහනුවර රාජධානියේ සමයේ වන බැවින් මෙම පිරිත ස්‍යාමෝපසම්පදාව සමඟ ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ලැබුනක් ද යන වග තව දුරටත් සොයා බැලිය යුතුය.

    ශ්‍රී ලංකාවේ භාවිත ජිනපඤ්ජර ඇරඹෙන්නේ මෙසේය.

    ජයාසන ගතා වීරා ජෙත්වා මාරං සවාහිණිං,චතුසච්චාමතරසං, යේ පිවිංසු නරාසහාතණ්හංකරාදයො බුද්ධා,අට්ඨවීසති නායකා,සබ්බේ පතිටිඨිතා (තුය්හං) මත්‍ථකේ (තේ) මුනිස්සරා

    ජය අසුන් අරා වැඩහිඳ සේනා සහිත මරසෙන් පරදවා සිවුසස් අමා රසය පානය කොට වදාළ ලෝක නායක මුනීශ්වර වූ තණ්හංකරාදි යම් අටවිසි බුදුවරු වෙත්ද, උන්වහන්සේලා (ඔබේ) මස්තකයෙහි (හිස මත) වැඩ වසන සේක.

    එසේ බුදුන් වහන්සේ හිස මත පිහිටුවන මෙම පිරිත ඉන් අනතුරුව ඇස ධර්මයට ද, දකුණු දෙස⁣ට සැරියුත් තෙරුන් ද, වමත් දෙසට මුගලන් තෙරුන් ද, දකුණු කනට ආනන්ද හා රාහුල තෙරුන් වහන්සේලා ද, වම් කනට කාශ්‍යප හා මහානාම තෙරුන් වහන්සේලා ද, කේශාන්තයේ සිට පිට පැත්ත⁣ට සෝභිත තෙරුන් වහන්සේ ද, මුහුණට කුමාර කස්සප තෙරුන් වහන්සේ ද, නළලට පුණ්ණ, අංගුලිමාල, උපාලි සහ නන්ද තෙරුන් වහන්සේලා ද, සෙසු අවයව වලට අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ද සම්බන්ධ කරයි. එසේ ශරීරයට ආරක්ෂාව සැලසී⁣මෙන් අනතුරුව ශරීරය වටා ඇති දිශාවන්ට මහ පිරිත් පොතෙහි එන පිරිත් දේශනා වලින් ආරක්ෂාව සපයයි. ඒ අනුව රතන සූත්‍රය පෙරදිගටද, දකුණ කරණීය මෙත්ත සූත්‍රයටද, ධජග්ග සූත්‍රය පසුපසට ද, අංගුලිමාල සූත්‍රය වම්පසට ද, චන්ද – මෝර – ආටානාටිය අහස් වියනක් සේ ද, අනෙක් සියලු පිරිත් ⁣ඒ වටා ප්‍රාකාරයක් සේ ද පිහිටන බව දේශනා කරයි. එසේ තෙරුවනේ තේජානුභාව බලයෙන් සියලු
    උපද්‍රව දුරු වේවායි ප්‍රාර්ථනා කරයි.

    අපගේ අදහස නම් මෙය හුදු සංකේතාත්මකව ශරීරාංග වලට උතුමන් වහන්සේලා ද ඒ ඒ දිශාවන්ට පිරිත් ධර්මයන් ද ආදේශ කොට සෙත් පැතීමක් නොවේ. මෙමඟින් බලාපොරොත්තු වන්නේ මෙය සජ්ඣායනා කරන, ශ්‍රවණය කරන පුද්ගලයා නිරන්තරයෙන් ම බුදු දහම හා බැඳී පවත්වා ගැනීමයි. මේ ජිනපඤ්ජර පිරිතෙන් ලැබෙන මානසික සුවය පිළිබඳ ASIAN JOURNAL OF MEDICAL SCIENCES හි Chinabunchorn chanting causes stress level
    reduction evaluated by Thai Stress Test නමින් පල වූ
    පර්යේෂණය සිදු කළ තායිලන්තයේ බැංකොක් නුවර Mae Fah Luang University විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්ය Phakkharawat Sittiprapaporn, මහාචාර්ය Vichit Boonyahotara ඇතුළු පර්යෙෂණ කණ්ඩායම මෙම ජිනපඤ්ජර සජ්ඣායනාවෙන් මානසික ආතතිය දුරු වන බව සිය පර්යේෂණයෙන් සනාථ කොට ඇත.

    එසේ හෙයින් ශ්‍රී ලංකාවේ ද වෛද්‍ය පීඨ වල ට මෙසේ පර්යේෂණ කිරීමේ අවස්ථාව ඇති බව මෙහිලා මෙත් සිතින් යුතුව සිහිපත් කරමු.

    අතිගෞරවාර්හ නාඋයනේ අරියධම්ම මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දේශිත ජිනපඤ්ජර පිරිතට සවන් දීම සඳහා https://pitaka.lk/pirith/pages/59-jinapanjara-parittam.html වෙත පිවිසෙන්න.

    තායිලන්තයේ ජිනපඤ්ජර දේශනාවක් ශ්‍රවණය කිරීමට https://youtu.be/Pdwb7tvtcQY වෙත පිවිසෙන්න

    || රුවන් වින්ඩ්සර් ||

    ජායාරූප – Nelligala International Buddhist Centre

    • ආශ්‍රිත මුලාශ්‍ර

    1. පිරුවානා පොත් වහන්සේ – බෝදාගම චන්දිම නාහිමි

    2. පිරිතේ අනුසස් සහ බුදු දහමින් රෝග සුවය – ආචාර්ය එස්.අයි.⁣ග⁣මගේ

    3. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ ආචාර්ය අරුණ කේ ගමගේ මහතා චරණ Tv හි සහභාගි වූ ත්‍රිපිටක අභි වන්දනා – පිරිත් සජ්ඣායනා දෙවන කොටස වැඩසටහන

    4. “Extra canonical Parittas: The Jinapañjara, Jayapañjara, Mahājinapañjara or Ratanapañjar – Dr. Petra Kieffer-Pülz

    5. Chinabunchorn chanting causes stress level
      reduction evaluated by Thai Stress Test – Nichamon Waeobut, Vichit Boonyahotara, Ariya Sarikaphuti, Phakkharawat Sittiprapaporn

    රුවන් වින්ඩ්සර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.