fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිනිස් ඡාවාරමකට හිටපු නාවික බුද්ධි නිලධාරියා සී.අයි.ඩී. ය අල්ලයි

    මිනිස් ඡාවාරමකට හිටපු නාවික බුද්ධි නිලධාරියා සී.අයි.ඩී. ය අල්ලයි

    මුහුදු මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවට මිනිසුන් පැටවීමේ ඡාවාරමකට සම්බන්ධ මහ මොළකරුවෙක් බව කියන නාවික හමුදාවේ බුද්ධි අංශයේ හිටපු සෙබලෙක් අපරාධ පරීික්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම ඡාවාරම් විමර්ශන හා සමෘද්ධි අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    අධිකාරී මුදියන්සේලාගේ චතුර තරංග ධනුෂ්ක බණ්ඩාර නොහොත් නේවි කමල් නැමැති ඔහු වසර 09 ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට්ටි පනමින් සිටියෙක් බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබුණු බවද එම නිලධාරියා පැවසීය.

    මෙම නාවික බුද්ධි සෙබලා 2003 වසරේ සිට 2015 වසර දක්වා නාවික හමුදා සේවයේ නිරතව සිට ඇති බවත් ඔහුට පැවරී තිබී ඇත්තේ මහ මුහුදේ කෙරන මිනිස් ඡාවාරම ගැන තොරතුරු රැස්කිරීම බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. එහිදී ඔහු මිනිස් ඡාවාරම්කරුවන් සමග සම්බන්ධකම් ගොඩනගාගෙන ඇතැම් දූෂිත ඉහළ නිලධාරීන්ගේද සහය ඇතිව ඕස්ට්‍රේලියාට මිනිසුන් පැටවීමේ ඡාවාරමට සම්බන්ධ වී සිට ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    2012 වසරේ මීගමුවෙන් ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කල බෝට්ටු දෙකකින් එකක් අතර මගදී කාර්මික දෝෂයකට ලක්ව එහි ගමන්කරමින් සිටි පිරිස නැවත පැමිණිමක් ගැන සහ පුද්ගලයින් 87 දෙනෙක් රැගත් බෝට්ටුවක සිටි පිරිසක් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමෙන් පසු එහි සිටි 24 දෙනෙක් නැවත මෙරටට හරවා එවීමක් සම්බන්ධයෙන්
    කෙරුණු විමර්ශනයකින් නේවි කමල් නැමැත්තා ගැන තොරතුරු අනාවරණය වූ බවත් එම ඕස්ට්‍රේලියා ගමන සංවිධානයකර ඇත්තේද ඔහු විසින් බවටත් තොරතුරුද හෙළිවූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    නාවික හමුදා මුර සංචාරක යාත්‍රාවලින් ගැලවී නිදහසේ ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම සදහා ඡාවාරම්කරුවන්ගෙන් මොහු එක් ගමන් වාරයක් සදහා රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබාගෙන ඇති බවද විමර්ශන වලින් හෙළිවී ඇත. ඒ අනුව එකල ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ප්‍රකාශ පවා සටහන්කරගෙන ඇතත් අත්අඩංගුවට ගැනීමක් සිදුව නැත. විමර්ශන අවසන්කර නීතිපති උපදෙස් සදහා ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලැබී ඇති අතර මෙතෙක් කාලයක් ඔහු පොලීසියට කට්ටි පනිමින් සිට ඇති බවද සදහන්ය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට්ටිපනිමින් සිටි මෙම සැකකරු සිය බිරිදගේ පියාගේ සුවදුක් බැලීමට පස්සර පුහුල්වත්ත මවුස්සාගොල්ලේ පිහිටි නිවසට පැමිණි අවස්ථාවේදී රැක සිට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම ඡාවාරම් විමර්ශන හා සමෘද්ධි අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරකෝන් බණ්ඩා මහතාගේ මෙහෙයැවීමෙන් මෙම අත්අඩංගුවට ගැනීමේ විමර්ශන සිදුව තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.