fbpx
තවත්
    මුල් පිටුවspecialඅර්ධසත්‍යය වැමෑරීම

    අර්ධසත්‍යය වැමෑරීම

    පාසල් සමයේ විවාදයක් බලා තිබේද?. විවාදයක ප්‍රකාශයට පත් වන කරුණු, සත්‍යය, අසත්‍යය, අර්ධ සත්‍යය අතර සම්මිශ්‍රණය කි. පාසල් කාලයේදී විවාදයේ යෙදුන අයෙකු ලෙස විවාද වල ගත යුත්තක් නොමැති බව මාගේ මතයයි. දේශපාලනයඥයින්ගේ විවාදත් එලෙසට මය. එහෙත් ලංකාවේ වියතුන් සහ විද්වතුන් යැයි කියාගන්නා දෙපිරිස අතර වන විවාදත් මේ මට්ටමට යෑම රටේම අභාග්‍යයකි.

    වියතුන් සහ විද්වතුන් ලෙස රටේ ප්‍රාමාණික උගතුන් දෙපිලකට බෙදී ඇත. පවතින රජයට පක්ෂ උගතුන් තමන් “වියතුන්” ලෙසත්, රජයට විපක්ෂ පිල “විද්වතුන්” ලෙසත්, තමුන් කියා ගනිති.

    තම මතය හුවා දැක්වීමට, විද්‍යාත්මක  දත්ත එක් පාර්ශවයක් දක්වද්දී, අනෙක් පාර්ශවය එය අපහාසාත්මක ලෙස නිශේධනය කරති. මේවා අසා සිටින ප්‍රේක්ෂක හුදී ජනයා මොලේ කොලොප්පන් කරගනිති. උදාහරණ ලෙස වකුගඩු රෝග ඇතිවීමේ මූලය, පොල්තෙල්-පාම්තෙල් වාදය, කාබනික-රසායනික පොහොර වාදය, වැනි එකී නොකී වාද දැක්විය හැක. මේ වාදයන්හී යෙදෙන්නන් අතර පටු පරමාර්ථ දරන්නන් තම න්‍යායපත්‍ර හීන්සීරුවේ ක්‍රියාත්මක කරති. කොටින්ම කියතොත්, මේ වියත්-විද්වත් වාද අතර සමහර විට, අපිට නොදැනීම චීන කසල පොහොර ලංකාවේ ගොඩබානු ඇත.

    වියත්-විද්වත් දෙපාර්ශවය ඇණකොටා ගනිද්දී විය හැක්කේ මෙයයි.

    එක් වියතෙක් “පසේ යටට යනවිට ආසනික් අඩුවන බව” පවසද්දි, විද්වතා පවසන්නේ “පස හැදෙන්නේ උඩ ඉඳලා යටට කියා ය”. කතා දෙකම ඇත්තය. එමෙන්ම, කතා දෙකෙන්ම මතුකරන තර්ක මූලික ප්‍රශ්නය යට ගසන අර්ධසත්‍යය වේ.

    මාතෘ පාෂාණ ජීරණය වීමෙන් මෙන්ම, පසට යෙදවෙන දේ හින්දාද පසේ බැරලෝහ ඇතුළු විෂ ද්‍රව්‍ය එක් විය හැක. මේ සත්‍යය දෙපිලෙන් එක පිලක් වත් නිරවුල් ව කියන්නේ නැත.

    තව විද්වතෙක් සමාජ මාධ්‍ය හරහා ගර්ජනා කර තිබුනේ “නොදන්න දේ කියන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා!” සහ “වැට පැන්නොත් බලාගමු!” කියා ය. වියත්-විද්වත් දෙපිලම පාතාල මැරයින් වෙලා ය! අහෝ රටේ විද්‍යාවට ගිය කල!

    පස ගැන කී වෛද්‍ය වියතා තමා පෘථුලව නොදත් ක්ෂේත්‍රයක් වැදෑරීම ද, පාංශු විද්වතා අර්ධසත්‍ය වැමෑරීම ද වැරදිය. ඔබ දෙපාර්ශවයම එක්වී අන්දන්නේ මේ රටේ අහිංසකයන් ය.

    එක් විද්වතෙක් විශාල සමාගමක අධ්‍යක්ෂ මාණ්ඩලිකයෙකු බව වියතුන් පවසති. විද්වතුන් මිස අප වැනි එවුන් ඒවා වෙත තෝරා ගන්නේ නැත. ඒ පිළිබඳව අප ඔවුන් හා ඇරියස් තබා නොගත යුතුය. එහෙත් ඔහු බැඳියාවන් ගේ පිළිගැටුමකට (conflict of interests) ලක්ව වගකිව යුතූ රාජ්‍ය කිලයක් දරමින් කටයුතු කිරීමෙහි ආදීනවයක් ලෙස මේ ගැටුම දැක්විය හැක.

    වියතුන් මෙන්ම විද්වතුන්ද මනුෂ්‍යයෝය. ඔවුන්ට වැරදිය හැක, ඔවුන් හට අනුන්ද ඇන්දවිය ද හැක. අනුන්ටද මොවුන් මෙහෙයවිය හැක. ඔබ අප මෙන්ම ඔවුන්ද, යම් සමාජ ආර්ථික පීඩනයක පීඩිතයන් ය. වියත්-විද්වත් දෙපිලම නටවන්නෝ කවුරුන්දැයි නිරවුල් මනසින් බලා සිටිමු.

    කාලයක් තුල බැරලෝහ ඇතුළු රසායනික දූෂක වලින් පරිසරය දූෂණය වී ඇත. එහි ආදීනව අප විඳිමින් සිටින්නෙමු. එය කාබනික පොහොර, රසායනික පොහොර හෝ වෙනත් යෙදවුම් නිසාද, පාංශු විද්වතුන් කියන ලෙසින් මාතෘ පාෂාණ ස්වභාවිකව ජීර්ණය වීමෙන්ද යන්න අප නොදන්නෙමු.

    කරුණාකර අර්ධසත්‍ය වැමෑරීමෙන් වලකින්න. මේවා පූර්ණ සත්‍ය ලෙස පිලිගන්නා අහිංසකයන් පිරිසක් ලක් පොළොව මත සිටිති.

    එඤ්ඤං
    මං
    සත්‍යගවේෂී

    සත්‍යගවේෂී

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.