fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෛත්‍රී - මනෝ හමුවක්

    මෛත්‍රී – මනෝ හමුවක්

    හිටපු ජනාධිපති, ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

    එහිදී මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය දැනගැනීමටත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත් සිදුවූ බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේය.

    මෙම හමුවීම ඊයේ සිදුවූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිලනිවසේදී ය.

    මේ සම්බන්ධයෙන් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පා.ම. මනෝ ගනේෂන් තවදුරටත් පැවසුවේ,

    “මැතිවරණය පැවැත්වුනොත්, නැතොත්, මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කර, සමානුපාතික ක්‍රමය නැති කර, මිශ්‍ර ක්‍රමය පමණක් ක්‍රියාත්මක කරමින්, දේශපාලන ප්‍රතිපත්තීන් සහ සුළු ජාතින් නියොජනය කරන සුළු පක්ෂ නියෝජනයට හානිය ඇති කර, මෙම රටේ වත්මන් බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය වලලන්න, උත්සාහයන් සිදුවෙනවා.

    ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් මිශ්‍ර ක්‍රමයට සහයෝගය පලකර තිබෙන බව මැතිවරණ ක්‍රම සම්බන්ධ තේරීම් කාරක සභාවේ ප්‍රකාශ වුණා. මේක මීට පෙර ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන හා එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් රිජුවම මා සමග ප්‍රකාශ කළ ස්ථාවරයට පටහැනි බව මෙම හමුවීමේ දී හිටපු ජනාධිපතිවරයාට මම පැහැදිලි කළා. ශ්‍රීලංකා නිදහස් පක්ෂය තමයි අද රටේ තෙවන විශාලතම පක්ෂය වන්නේ. මෙවැනි අවස්ථාවක යෝජිත මිශ්‍ර මැතිවරණ ක්‍රමය දමිළ, මුස්ලිම් පක්ෂවල් පමණක් නොව, ශ්‍රීලංකා නිදහස් පක්ෂය, ජ.වි.පෙ. යන පක්ෂවල පැවැත්වීම නැතිවීමට ද හේතුවක් වෙයි කියලා මම මෛත්‍රීපාල මහතාට පැහැදිලි කළා.

    මේවනවිට සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ (ජ.වි.පෙ.) යන පක්ෂවල් ද සමානුපාතික ක්‍රමය දිගටම ක්‍රියාත්මක විය යුතුයි යන ස්ථාවරයේ සිටිනවා. ඒවගේම දමිළ, මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂවල් වන, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මක්කළ් කොංග්‍රසය යන පක්ෂවල් ද සමානුපාතික ක්‍රමය සඳහා සහයෝගය දක්වනවා. රජය සමඟ සිටින හවුල්කාර පක්ෂවල් වගේම සුළු පක්ෂවල නායකයන්ද සමානුපාතික ක්‍රමයට තමන්ගේ සහයෝගය දෙන බව පෞද්ගලිකව මා සමග පවසලා තිබෙනවා.

    සාකච්ජාවේදී, හිටපු ජනාධිපති ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා, “තේරීම් කාරක සභාවේ කළ ප්‍රකාශය වැරදි. එහිදී අපේ පක්ෂයේ ස්ථාවරය නිවැරදිව ප්‍රකාශ වී නැහැ. කෙටිකාලයක් තුල අපේ පක්ෂයේ නිල කණ්ඩායම විසින් අපේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂය මිශ්‍ර ක්‍රමය පිළිගන්නේ නැහැ. අපි සමානුපාතික ක්‍රමයටයි සහයෝගය දෙන්නේ. පලාත් පාලන මැතිවරණය මිශ්‍ර ක්‍රමය වෙන්න පුළුවන්. නමුත්, පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණ වලදී සමානුපාතික ක්‍රමයයි සුදුසුවන්නේ.”

    “මෙම රටේ විධායක බලය ඇති ජනාධිපති ක්‍රමය තිබීම හොඳයි. රට එක්සේසත් කිරීමට ඒක භාවිතා වෙනවා. නමුත්, ඒකට සමානව, සියලු දේශපාලන ප්‍රතිපත්තීන් නියෝජනය වන පරිදි බහුත්වවාදී පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒකයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ. මෙයයි අපගේ ස්ථාවරය” යැයි ද ඔහු කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.