fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්හමුදාපති ශවේන්ද්‍රට රුසියාවේ දී ඉහළම පිළිගැනීමක්

    හමුදාපති ශවේන්ද්‍රට රුසියාවේ දී ඉහළම පිළිගැනීමක්

    රුසියාවේ සංචාරයක නිරත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරට දී ලැබෙන ඉහළම ගෞරව ආචාරය පසුගිය සඳුදා (25) හිමි විය.

    ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානියෙකුට රුසියාවේ දී ලද ඉහළම පිළිගැනීම මෙය වේ.

    රුසියානු භූමි මෙහෙයුම් හමුදාවේ ගෞරව ආචාර පෙළපාලියෙන් අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ (Alexandrovsky Garden of Moscow Kremlin) පිහිටි ‘Tomb of the Unknown Soldier’ රුසියානු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළේය.

    හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මෙම සංචාරයට එක්ව සිටිනුයේ රුසියානු එක්සත් සමුහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ සහ එරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරාධනය අනුවය.

    ඛණ්ඩ හතරකින් සහ හමුදා තූර්යවාදක කණ්ඩායමකින් සැදුම් ලත් සම්මාන ආචාර පෙලපාලියකින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පිළිගත් රුසියාව, දෙරට අතර පවත්නා සුහදත්වය පිළිබිඹු කරමින් එම සරඹ භූමියේ දී දෙරටේ ජාතික ගීත වාදනය කළේය.

    රුසියානු හමුදාවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමෙන් අනතුරුව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මොස්කව් නුවර අවි ආයුධ කෞතුකාගාරය නැරඹීමට එක්වූයේය.

    ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රුසියාවේ සංචාරය අතරතුර මොස්කව් නුවර පිහිටි උසස් ඒකාබද්ධ යුද අණදෙන පාසල (Higher Combined Arms Command School) හි සේනාංවිධායක මේජර් ජෙනරාල් රෝමන් බින්යුකොව් (Major General Roman Binyukov), නාරෝ-ෆොමින්ස්ක් (Naro-Fominsk) ප්‍රදේශයේ පිහිටි 4 වන ආරක්‍ෂක සන්නද්ධ රථ සේනාංකයේ (Guards Tank Division) සේනාංකාධිපති සහ මිහයිලොව්ස්කායා (Mikhailovskaya) පිහිටි හමුදා කාලතුවක්කු විද්‍යාපීඨය (Military Artillery Academy) හි සේනාවිධායක ද හමුවීමට නියමිතය.

    රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) 2020 වර්ෂයේ පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුර රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරාධනා කළේය.

    කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලෙස වගකීම් ඉටු කිරීම හේතුවෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම අරාධනාව පසුවට කල් තබා තිබිණි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.