fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කතෘ ලසන්ත ඝාතන සිද්ධියට හිටපු පොලිස්පති අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ

    කතෘ ලසන්ත ඝාතන සිද්ධියට හිටපු පොලිස්පති අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ

    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් දේවල් නොමැති බැවින් ඔහු අත්අඩංගුවට ගැනී‍මේ සූදානමක් නැතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

    ඒ බව අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණයට දැනුම් දුන්නේය.

    ඒ අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා සහතික වීමත් සමඟ සිය අයදුම්පත ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කරු අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

    පෙත්සම ඉල්ලා අස් කර ගැනීම සඳහා ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කරුට අවසර දුන්නේය.

    ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා අධ්‍යක්ෂ ධූරය දැරූ සමයේ දී විමර්ෂණ කටයුතු සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ලසන්ත ඝාතනයට සම්බන්ධ තොරතුරු විනාශ කළ බවට චෝදනා කරමින් ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගත්තේ ය. ඔහුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව, හිටපු පොලිස්පතිවරයා වූ ජයන්ත වික‍්‍රමරත්න අත් අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටියේ ය.

    එම අවස්ථාවේ දී හිටපු පොලිස්පතිවරයා, තමන් අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා අත්අඩංගුවට ගැනීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අතුරු නියෝගයක් නිකුත් කර තිබුණි. ජයන්ත වික්‍රමරත්න මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

    සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නගෙන් ප්‍රශ්න කර තිබුණි.

    හිටපු පොලිස්පති වික්‍රමරත්න ලසන්ත වික්රමතුංග ඝාතන නඩුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මෙම පෙත්සම හරහා මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලය ක්රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් වීම ඉල්ලා සිටියේය.

    පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන, උපේන්ද්‍ර ගුණසේකරගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ නවීන් මාරපන සමඟ පෙනී සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.