fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"හරි දේ කිරීම ලොකු අභියෝගයක්"- ජනපති

    “හරි දේ කිරීම ලොකු අභියෝගයක්”- ජනපති

    හරි දේ කිරීම විශාල අභියෝගයක් බවත්, ඊට එක් ව මුහුණදී ඉදිරියට යාමෙන් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කළ හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    ගොවිජන සේවා නිලධාරීන් සමඟ අද (21) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    ගොවීන් මුහුණ දෙන අපහසුතාවලට විසඳුම් දීමෙන් අපේක්ෂිත අරමුණු කරා ගමන් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදී ගොවීන් හමුවට ගොස් කරුණු පැහැදිලි කර දීම ඉතා වැදගත් බව සඳහන් කළේය.

    පරිසරයත්, මහජන සෞඛ්‍ය ආරක්ෂාවත් රැක ගනිමින් වැඩි ආදායමක් ගොවියා අතට පත් කිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවයි. හරිත කෘෂිකර්මාන්තයේ ඉලක්කය එක් කන්නයකට, දෙකකට පමණක් නො ව; පරම්පරා ගණනකට සෙත සැලසීම බව ජනාධිපතිවරයා කියා සිටියේය.

    ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු හඳුනාගෙන ඒ පිළිබඳ රජය දැනුවත් කිරීම නිලධාරීන්ගේ වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එවිට එම ගැටලු විසදීමේදී විශේෂඥ සහාය ලබා ගැනීමේ හැකියාව උදා වන බව ද සඳහන් කළේය.

    වැරදි දෙයක් කරන්නැයි තමා කිසි විටෙක කිසිවෙකුගෙන් ඉල්ලා සිටින්නේ නැතැයි ද ජනාධිපතිවරයා නිලධාරීන් හමුවේ අවධාරණය කළේය.

    හරිත කෘෂිකර්මාන්තයට අවතීරණ වීම නිසා වගා කෙරෙන භූමි ප්‍රමාණයේ අඩුවකට ඉඩ තැබිය නො හැකි ය. කාබනික පොහොර භාවිතය සමඟ ඉදිරියට යාමට ගොවීන් දිරිගැන්වීම රට වෙනුවෙන් සියලු දෙනාගේ වගකීමක් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

    ලෝකයේ පිළිගත් ඉහළ ම පරිසර හිතකාමී පොහොර ගොවියා අතට පත් කිරීම සඳහා නයිට්‍රජන් පෝෂක සහිත දියර නයිට්‍රජන් ගෙන්වීමට රජය පියවර ගත්තේය. නැනෝ තාක්ෂණය භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇති මෙම දියර පොහොරවල ඇති නයිට්‍රජන් සංඝටක ශාඛ පත්‍ර මඟින් සෘජුව ම අවශෝෂණය කර ගනී. එම දියර නයිට්‍රජන් ඉදිරියේදී සියලු ගොවීන්ට ලබාදීමට රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    අස්වැන්න අඩුවීම පිළිබඳ ගොවීන් තුළ අනිසි බියක් මතු ව ඇති අතර නිසි කලට පොහොර ගොවීන් අතට පත් කිරීමෙන් සහ නිවැරදි දැනුවත් කිරීමෙන් ගොවීන් තුළ වන බිය සහ පසුබෑම සමනය කරගත හැකි බව පැවසූ ගොවිජන සේවා නිලධාරීහූ ගොවීන් නිෂ්පාදනය කරන කාබනික පොහොරවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නො වන බැවින් එම පහසුකම් පුළුල් කර දෙන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

    රජය විසින් ගොවීන්ට ලබා දී ඇති දිරි දීමනා, මූලික ගෙවීම් මේ වන විට නිදහස් කරමින් තිබේ. ඉදිරි කන්නවලදී කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව ද නිලධාරීහු සඳහන් කළහ.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, දිස්ත්‍රික්ක 08ක් නියෝජනය කරමින් දිස්ත්‍රික් සහකාර සහ නියෝජ්‍ය ගොවිජන සේවා කොමසාරිස්වරු, ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරීහු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක් ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.