fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිකිරීම් ද්‍රව්‍ය මිල ඉහළ ගිහින් - ක්ෂේ්ත්‍රයම අර්බුද රැසක- දැන්වත් පාලනයක් ඕනෑ

    ඉදිකිරීම් ද්‍රව්‍ය මිල ඉහළ ගිහින් – ක්ෂේ්ත්‍රයම අර්බුද රැසක- දැන්වත් පාලනයක් ඕනෑ

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල වැඩිවීම හේතුවෙන් මේ වනවිට මෙරට ඉදිකිරීම් කර්මාන්තය බරපතළ අර්බුදයකට මුහුණ පා ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා NewsWave වෙත පැවසීය.

    ඔහු පෙන්වා දෙන්නේ යකඩ, සිමෙන්ති, ඇලුමිනියම් ආදී ඉදිකිරීම් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල මෙලෙස ඉහළයමින් තිබෙන බවයි.

    ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය කරන ද්‍රව්‍ය, දේශීය වශයෙන් නිෂ්පාදනය කරනුයේ 20%ක් 30%ක් පමණ වන බවත් දොර අගුල්වල සිටම අනිත් සෑම දෙයක්ම ආනයනය කරන බවත් සභාපතිවරයා සිහිපත් කරයි.

    පාරිභෝගික අධිකාරිය සමඟ එක්ව මිල පාලනයට උත්සහ කළ ද එය ද කිරීමට නොහැකි වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

    රට තුළ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් ද සිදුවන නමුත් ගිවිසුම්ගත ව්‍යාපෘතිවලදී මාස 3ක් ගතවීමෙන් අනතුරුව මිල වැඩිවීම් වෙතොත් ගෙවිය යුතු මිල වෙනස පවා ආණ්ඩුව නොගෙවීම නිසා බරපතළ ගැටලු මතුවී ඇති බව සභාපතිවරයා අවධාරණය කරයි.

    වැඩිදුරටත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ කරුණු ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා,

    “මීට මාසයකට පමණ පෙර යකඩ ටොන් එකක් රුපියල් 145,000ක පමණ මුදලකට තිබුණා. දැන් යකඩ ටොන් එකක් 265,000ක් වෙලා තියනවා. මේක අපි පාරිභෝගික අධිකාරියත් සමඟ සාකච්ඡා කරලා මේ මිල මේ මිල පාලනය කරන්න උත්සාහ ගත්තා. නමුත් මේක කරගන්න බැරි වුණා. ඔවුන්ට මිල සීමාවක් දුන්නත් ඒ උල්ලංඝනය කරනවා එය කරන්න බැරි බව පවසමින්. ඔවුන්ගේ පැත්තෙන් අපි ගණන් හරියටම දන්නෙ නෑ ඇතැම් විට ඉතාමත් වැඩියෙන් දෙනවාද දන්නෙත් නැහැ. නමුත් ආනයන කරුවන්ටත් ගැටලු පවතිනවා. මොකද ඔවුන් අමුද්‍රව්‍ය ආනයනය කරලා තමයි යකඩ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නේ. ඒ අයටත් ප්‍රශ්නයක් තියෙනවා . මේ තත්ත්වය හැමෝටම බලපාලා තියෙන්නේ.

    දේශීය යකඩ නිෂ්පාදනය සඳහා නිෂ්පාදකයන් විසින් අත්‍යවශ්‍යම දෙයක් වන බිලට් ආනයන කරනවා. මේවා ගෙන්වන්නේ ටොන් ගණනින්. නමුත් ඒවා කිලෝ ගණනට පරිවර්තනය කළොත් රුපියල් 23කට තිබුණු එක ‍රුපියල් 46ක් වෙලා. ඉන්දියාවේ වියට්නාම්පට්නම්වලින් තමයි ඒවා වැඩිපුරම ගෙන්වන්නේ . ඔවුන්ට ඒ සඳහා ගෙවන මිල දෙගුණයක් ලෙස ගෙවන්න වෙලා තියෙනවා වගේම නැව් ගාස්තු දෙගුණයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ වගේම ආනයනය කරපු එම අමුද්‍රව්‍ය මෙරට දී නිදහස් කර ගැනීමේදී ඩොලර් ගෙවලා තමයි ඒවා නිදහස් කරගන්න සිද්ධ වෙන්නේ. එතකොට සේවක ගාස්තු, ප්‍රවාහන ගාස්තු මේ සියලුම වියදම් විශ්ලේෂණය කරලා තමයි මේවායෙ මුදල තීරණය කරන්නේ.

    එපමණක් නෙවෙයි කර්මාන්ත ශාලාව තුළ කර්මාන්තශාලාව තුල යකඩ නිෂ්පාදනය කරන විට තව වියදම් ඇතුළත් වෙනවා ඒ අනුව යන්න වියදම් ධාරිතාවය බලලා වෙළඳපොළට නිකුත් කරනව යකඩ ටොන් එකක මිල රුපියල් 265,000ක් කියලා.

    ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි

    රාජ්‍ය ඉදිකිරීම් කරුවන් හැටියට ඇස්තමේන්තුවලට අපි අනුගත වෙලා තියෙන ආකාරය අනුව 2020 මුල් භාගය සහ 2021 මුල්භාගයේ Rate එකක් තමයි අපට දීලා තියෙන්නේ. ඒ අනුව තමයි අපි ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ. ඒ අනුවයි අපිට රාජ්‍ය ආයතන වල බිල ගෙවන්නේ.

    එතකොට මේ මිල පසුව වැඩිවීමේ වෙනසේදී මෙහෙම දෙයක් වෙනවා. රාජ්‍ය ඉදිකිරීම් නියාමන අධිකාරිය තමයි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය. මේ අධිකාරිය විසින් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා එහි 5 (2) යටතේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා මාස තුනකට වැඩි ගිවිසුම් අත්සන් කරන ලද ඉදිකිරීම් කර්මාන්ත සඳහා මිල වැඩි වුනොත් ඒ මිලේ වෙනස ගෙවිය යුතුයි කියලා. නමුත් ආණ්ඩුව ඒක අපිට ගෙවන්නේ නෑ. ඒක රාජ්‍ය ඉදිකිරීම්වලට ඒක විශාල අසාධාරණයක්.

    අද යකඩ විතරක් නෙමෙයි, යකඩ, සිමෙන්ති, ඇලුමිනියම් යන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වැඩිවෙලා තියෙනවා. ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය කරන ද්‍රව්‍යවල දේශීය නිෂ්පාදන ඇත්තේ 20%ක් 30%ක් වගේ. දොරගුල්වල ඉදලම අනිත් හැම දෙයක්ම අපි පිටරටින් ගෙන්වන්නේ. ඉතින් මේවා ගෙන්වන විට අපට තියන ලොකු ප්‍රශ්නයක් තමයි ණයවර ලිපියක් නිකුත් කර ගන්න ගියාම ඇතිවන ගැටළු. දැන් අපිට ඒක බැංකුවලින් දෙන්නෙ නෑ.

    බැංකුවලින් ණයවර ලිපියක් නිකුත් කරන්නේ දින 180කට . අපි අද විවෘත කළා නම් දින 80 ගියාට පස්සේ ඩොලර් එක වැඩි වුනොත් ඒ සිදුවන සාපේක්ෂ වෙනසත් අපි ගෙවන්න ඕන. ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ නීතියක් තියෙනවා dollar fluctuation කියලා. මේ dollar fluctuation එකවත් අපිට ආණ්ඩුව ගෙවන්නේ නෑ.

    අපි ඉදිකිරීම් කරුවන් හැටියට මේ වන විට විශාල අසරණ භාවයකට පත්ව සිටිනවා. මොකද අපි ගිහිල්ලා  වෙනත් වෘත්තිය සංගම් වගේ පාරේ ගිහින් බෝඩ් අල්ලන් ඉන්නේ නෑ. වටරවුම්වල හිටගන්නේ නෑ. අපි කවදාවත් ඒවා කරලාත් නෑ. මගේ ආයතනයට දැන් අවුරුදු විස්සක් විසිපහක් පමණ වෙනවා. අපි කරන්නේ මහත්මා ව්‍යාපාරයක්. අපගේ ව්‍යාපාරය තුළ රජයට දළ දේශීය නිෂ්පාදනය 18%ක දායකත්වයක් ලබා දෙනවා. අපිට ලක්ෂ 16 කට ආසන්න ශ්‍රම බලකායක් ඉන්නවා. අපි ලඟ තමයි වැඩිපුරම ඉංජිනේරුවෝ, ගෘහ නිර්මාණ ශිල්පියෝ, තාක්ෂණික නිලධාරීන් ඉන්නේ. මේ ක්ෂේත්‍රයට අදාල වැඩිපුරම වෘත්තිකයින් ඉන්නේ අපි ළඟ. මේ වගේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. කර්මාන්ත සංවර්ධන අධිකාරියේ රාජ්‍ය ඉදිකිරීම්කරුවෝ ඉන්නවා 6000ක් පමණ. මගෙ ළඟ ඉන්නවා 4000කට වැඩියෙන්. මේ ලියාපදිංචි සංඛ්‍යාවෙන් විශාල වශයෙන්ම ඉන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කරුවන්. මේ අධික මිල ගණන් නිසා මේ මිනිසුන්ට යැපෙන්න විදිහක් නෑ දැන්. අපි රජයට කියන්නේ මේ සාධාරනව national procurement agency එක හරහා 5 , 4 (2) යටතේ මිලේ වෙනස ගෙවන්න කියලා. ඒක ගෙව්වා නම් ඒ ඉදිකිරීම් කරුවන් මෙතරම් වැටෙන්නේ නැහැ.

    කිලෝමීටර් ලක්ෂයක ව්‍යාපෘතියක් යනවා. අධිවේගී මාර්ග ව්‍යාපෘති කීපයක් යනවා. ළඟම පාසල හොඳම පාසලේ මුදල් නෑ. රාජ්‍ය ඉදිකිරිම්කරුවාට මුදල් ප්‍රමාද වෙනවා කියන්නේ මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද මූල්‍ය ආයතන පෝෂණය වෙනවා. කිසියම් ආයතනයක් රජයට මේ ගොඩනැගිල්ල හදලා දෙන්නේ තම වත්කම් කැප කරලා. රටේ ආර්ථික අපහසුතාවයක් තිබෙනවා . රුපියල ප්‍රමාණය වෙලා ඩොලර් එක වැඩි වෙලා ඒ හැමදේම හරි. නමුත් මේ රටේ දැන් පවතින තත්ත්වයත් එක්ක මේක පාලනය කරගන්න ඕන. අපි ආරක්ෂා කළ යුත්තේ ඉදිකිරීම් කරුවා නෙමෙයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයයි.

    දේශීය වශයෙන් මේ කර්මාන්තය වැටුනොත් විදේශීය වශයෙන් යම් කොම්පැනි බලාගෙන ඉන්නවා ලංකාවේ මේක අරක්ගන්න . ඒකට අපිට ඉන්න වෙන්න බෑ. මොකද දැනුත් ඔවුන් ලංකාවේ ඇවිත් ව්‍යාපෘති කරනවා ශ්‍රමදායකත්වය අපෙන් නෑ. ශ්‍රම දායකත්වයත් ඔවුන් විදේශීයව ලබාගන්නවා. යන්ත්‍ර සූත්‍ර පවා අරන් ඇවිත් තමයි මෙහි කරන්නේ. ශ්‍රී ලංකාවට කිසිම සහයෝගයක් ඉන්න ලැබෙන්නෙ නෑ. අපිට ඒ ප්‍රශ්නත් තියෙනවා.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.