fbpx
තවත්
    මුල් පිටුවspecialයොහානි අමතක නොකළ අශෝක් ඇතුළු ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට මල් මිටක්

    යොහානි අමතක නොකළ අශෝක් ඇතුළු ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට මල් මිටක්

    මැණිකේ මගේ හිතේ ගීතය මිමිණු කෙනෙක් නොවන්නේ නම් දැන් කලාතුරකිනි. ඒ තරමට දෙස් විදෙස් රසික හදවත් ස්පර්ශ කිරීමට යොහානි ද සිල්වා නම් නව පරපුරේ ගීත කෝකිලාව සමත් වී සිටින්නීය.

    සම්ප්‍රදායෙන් බැහැරව නමුත් ශ්‍රී ලාංකේය සන්නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට ඇය සමත්ව සිටී. දිලීප සඳරුවන් (සතිශාන්) මෙම ගීත නිර්මාණයේ සැබෑ හිමිකරු වුව ද ඔහුගේ අවසරය මත ඇය ගයන මැණිකේ මගේ හිතේ ගීතය රසික හදවත් අමන්දානන්දයට පත් කළේය.

    අසල්වැසි ඉන්දියාව සිසාරා පැතිර ගිය යොහානිගේ මැණිකේ ගීතය මේ වනවිට අමෙරිකාව ඇතුළු ලොව බටහිර රටවල් රැසක ජනප්‍රිය ගීතයකි.

    මේ නිසාම ශ්‍රී ලංකාව පමණක් නොව සිංහල භාෂාව පිළිබඳව ද මෙම ගීතය ඔස්සේ ලෝක මට්ටමේ අවධානයක් දිනාගත් බව නොරහසකි.

    මේ වනවිටත් භාෂා කිහිපයකට පරිවර්තනය වී ඇති මැණිකේ මගේ හිතේ ගීතය ලොව විශිෂ්ට කලාකරුවන් රැසකගේ ඇගයීමට ද ලක්වූහ. ඒ ඇයගෙ ගායනය සමඟ නින්නාදවන සංගීත නිර්මාණයයි. මේ නිසාම මේ මස මුල දී ඉන්දියාවේ පැවැත්වෙන සංගීත ප්‍රාසාංග කිහිපයකටම යොහානි ඇරයුම් ලැබුවාය.

    ඉන්දියාව බලා යාමට යොහානි කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන්නේ ඒ අනුවය. මෙතරම් ජනප්‍රියත්වයක් ලැබුවද එදා යොහානි වෙනුවෙන් සුබ පැතුම් පතන්නට ඇතමෙක් මැළි වුහ. දේශපාලඥයෝ පවා බිය වූහ.සම්ප්‍රදාය අතික්‍රමණය කිරීමෙන් තමන්ට අවඩැක් සිදුවණු ඇතැයි ඔවුහු කල්පනා කළහ.

    එසේ වුවද ශ්‍රීලංකන් සභාපති අශෝක් පතිරගේ ඇතුළු ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය සංගීත ලොවට පිය නගන අපේ රටේ මේ යොවුන් ගායන ශිල්පිනි යොහානිගේ පළමු පියවරට ඉතා උණුසුම්ව සැමරූහ. ඇයට මල් මිටක් දී සුබ පැතූහ.යොහානි ඉන්දියාව බලා පිටව ගියේ ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලයෙන් ලැබුණු ඒ අපූරු පිළිගැනීම ද සිහි තබාගෙනය.

    යොහානි ඉන්දියාවට ගිය පසු, එරට රසික රසිකාවෝ ඇය වටකරගත්හ. එමෙන්ම එරට රූපවාහිනි නාලිකා ඇතුළු මාධ්‍ය ආයතන යොහානිගේ ගීත ප්‍රාසාංග සහ මැණිකේ මගේ හිතේ ගීතයට විශාල ප්‍රචාරක ඉඩක් ලබා දුන්නේය.

    යොහානි ද නොතේරෙන භාෂාවක ප්‍රශ්නවලට වුව ද ඉංගිරිසියෙන් පිළිතුරු බඳිමින් ඉන්දීය රසිකයන් මැණිකේ මගේ හිතේ ගායනයෙන් පිනවූවාය.

    මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවා යොහානි ඇගයීමට ලක් කළේ දෙරටේ සංස්කෘතික තානාපතිනියක් ලෙස යොහානි හඳුන්වා දෙමිනි. කෙසේ වෙතත් අපේ ම රටේ සමහරු යොහානිගේ මේ ජනප්‍රිය භාවයට එතරම් කැමැති වුයේ නැත. ප්‍රසිද්ධ කලාකරුවෝ පවා යොහානි මගහැර ගියහ.

    එසේ ඔවුන් මගහැර යන යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 150 ක් පසුකර ගොස් තිබේ. එය තවත් විධියකි කෝටි 15කට වැඩි වාර ගණනක් නරඹා තිබෙන සෙයකි.

    අප කැමති දේ ට අකමැති මිනිසුන් මෙන්ම අප අකමැති දේ ට කැමති මිනිස්සු සිටිති. යොහානි කෙරෙන් ද එය වෙනස් නොවේ. ඒ කෙසේ වෙතත් යොහානි ලොව හමුවේ යූ ටියුබ් ඔස්සේ තැබූ ශ්‍රී ලංකා සළකුණ රටකට අපමණ අගයකි.

    ඒ අගය වටහා ගෙන නිහඬව නොසිට එය අගය කරන අශෝක් පතිරගේ ඇතුළු ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට ද තුති පුද කළ යුතුය. යන විට පමණක් නොව ඇයගේ පළමු සංචාරය නිම වී මීට පැය කිහිපයකට පෙර ඉන්දියාවේ සිට ආපසු මව්බිමට පැමිණෙන යොහානිව පිළිගත්තේ ශ්‍රී ලංකන්ය. ඇය අමතක නොකරීම යනු ජාතියේ අනාගතය අමතක නොකිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සතු දැක්ම හා මාතෘභූමියේ අනාගත හෙට දවස පිළිබඳ වූ සුබ පෙර නිමිත්තකි.

     

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.