fbpx
තවත්
    මුල් පිටුවspecialමතු බුදුවන නාථ දෙවියන් - යුදට අධිපති නාගසේ දෙවියන් වැඩ සිටින...

    මතු බුදුවන නාථ දෙවියන් – යුදට අධිපති නාගසේ දෙවියන් වැඩ සිටින දොඩම්වල දේවාලය

    සෙංකඩගල නුවර සිව්මහා දේවාල අතරින් පෙරමුණ හිමිකර ගනු ලබන්නේ ශ්‍රී නාථ දේවාලයයි. මතු බුදු බවට පත් වන මෛත්‍රය බෝධිසත්වයන් වහන්සේ නාථ දෙවි නමින් පෙනී සිටිමින් නරයන්ගේ දුක්ඛදෝමනස්සයන්ට පිහිට වන බව පිළිගැනේ. උන්වහන්සේ වෙනුවෙන් කැපවූ උඩරට ප්‍රධාන දෙවොල ශ්‍රී දළදා මාලිගාව අභියස දැක ගත හැකි අතර පහතරට උන්වහන්සේ වෙනුවෙන් කැප වූ ප්‍රධාන දෙවොල තෙල්වත්ත තොටගමු රත්පත් රාජමහා විහාරයේ පිහිටා ඇත.

    නාථ දෙවියන් වෙනුවෙන් වේගිරිය, පස්ගම, දොඩම්වල ආදී ප්‍රදේශ වල පිටිසර දේවාල පිහිටා ඇති අතර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යයේ දී එම බස්නායක නිලමේවරුන්ට නාථ දේවාල පෙරහැරේ ගමන් කිරීම සිරිතකි.

    ඒ අතරින් දොඩම්වල නාථ දේවාලයට දිගු මෙන් ම අපූරු ඉතිහාසයක් හිමි ව තිබේ. වර්තමානයේ එම දේවාලය නාථ දෙවියන් වෙනුවෙන් මූලිකව කැප වූ දේවාලයක් වුවද ඇතැම් මූලාශ්‍ර වලට අනුව එහි මුල් කාලීනව වැඩ වාසය කොට ඇත්තේ නාග⁣සේ දෙවි හෙවත් නාහාමි⁣ යන දෙවි කෙනෙකු ය. වර්තමානයේ එතරම් ප්‍රචලිතව නොමැති මේ දෙවියන් පිළිබඳව හමු වන පැරණිතම සටහන වන්නේ හමුවන්නේ ගම්පොළ පස්වන භුවනෙකබාහු
    රජ සමයට (1372-1391) අයත් සගම සෙල්ලිපියෙනි.

    එවකට යාපනයේ ආර්ය චක්‍රවර්ති විසින්
    ගම්පොළ රාජධානියට එල්ල කරන ලද ආක්‍රමණවලට එරෙහිව භුවනෙකබාහු රජුගේ ප්‍රධාන අමාත්‍ය අලකේශ්වර හා ඔහුගේ සොයුරු දේවමන්ත්‍රීශ්වර විසින් සේනා සංවිධානය කරමින් කදවුරු බැඳ සිටියේ සෙංකඩගල නුවරය. යුද්ධයට ප්‍රථමයෙන් ජයග්‍රහණය පතමින් සෙංකඩගල නාථ දේවාලයේ පුද පූජා පැවැත්වූ ඔවුන්ට එදින රාත්‍රියේ නාථ දෙවියන් සහ නා ගසේ දෙවියන් සිහිනෙන් දර්ශනය වී යුධ ජයග්‍රහණයට අවශ්‍යය උපදෙස් ලබා දුන් බව කියැවේ. ඒ අනුව යුධ වැදුණු ඔවුන් යුධ ජයග්‍රහණය ලැබීමත් සමග නාථ සහ නා ගසේ දෙවිවරුන්ට කළගුණ දැක්වීමක් ලෙස ගම්බිම් පූජා කරමින් සගම සෙල්ලිපිය පිහිටුවා ඇත.

    මේ අනුව පෙනී යන්නේ නාගසේ දෙවියන් යනු යුධයට අධිපති දෙවි කෙනෙකු මෙන්ම නාථ දෙවියන් හා සහසම්බන්ධ එම පරිවාරයේ වැඩ වෙසෙන දෙවියකු වශයෙන් හඳුනා ගත හැකිය. බොහෝ විට ප්‍රධාන දෙවිවරුන්ගේ පරිවාරයේ දෙවැනි පෙළ දෙවිවරු හෝ යක්ෂ සේනාධිපතියන් වැඩ වෙසෙනු දක්නට ලැබෙන අතර ප්‍රධාන දෙවියන්ගේ අණින් විශේෂ කාරණා පිළිබඳව මැදිහත් වීම ඔවුනට භාර වේ.

    ඒ අනුව නාගසේ දෙවියන් වෙනුවෙන් දොඩම්වල දේවාලය ඉදි වීම පිළිබඳව ද ජනප්‍රවාදයක් වේ. මෙහි විසූ ගැමියකු ( ඇතැම් තැනක බමුණකු) හේනක් කෙටීම සඳහා එහි වූ කඳුරු ගසකට කෙටූ බවත් එයින් රැධිර දාරාවක් විහිදුණු නිසා එම ප්‍රාතිහාර්ය කෙරෙහි පැහැදුනු ඔහු මෙහි දේවාලයක් ඉදි කොට තිබේ.

    මෙම දෙවොල ඉතා බලවත් වූ නිසා ඒ ඔස්සේ ගමන් බිමන් යන සියලු දෙනා පාහේ ගමන් කරන ලද්දේ මහත් ගරුසරු දක්වමින් වුවත් දෙවැනි රාජසිංහ රජු බලන සටන සඳහා යන අවස්ථාවේ දී දේවාලය ඉදිරිපිටින් කූනමෙහි ( දෝලවට සමානය) නැගී ගමන් කළේය. එකවිටම දේවාලය ඉදිරියේ දී මහ හඬ නඟමින් කූනමේ කඳ බිදී ගියේ ය. මේ බව විමසූ රජුට දැන ගැනීමට ලැබුනේ මෙම ස්ථානයෙන් කිසිවකු දෝලා ආදියෙහි නැගී ගමන් නොකරන බවයි. එය දැනගත් රජු උදහස් ව එවැනි බලයක් මෙම දෙවියන්ට තිබේ නම් යලිත් කූණම තිබුණු ලෙසටම සකස් කර දෙන ලෙස ගුගුළේය. කපුරාළ දේවාලය තුළ ගොස් කළ යාතිකාවෙන් අනතුරුව මෙම කූනම් කඳ යලිත් එක් විය. එය දු⁣ටු රජු අතිශය පැහැදී දොඩම්වල දේවාලය රාජානුග්‍රහය ඇතිව යළි ඉදි කිරීය. කවියෙන් ලියූ විත්තියේ කවියෙන් එය මෙසේ සඳහන් වේ.

    තනා එතන විමනක් තුන් මාලෙ ට
    ගෙනා තොප්පි සළු රන් කඩු පුද කො ට
    තනා ගත්තු කූනම දෙවියන් හ ට
    මනාපයෙන් පුද කර දේවාලෙ ට

    ගොඩ මඩ සැම තැන දී දේවාල ට
    අඩවිය නා විමනක් කරවන්න ට
    කඩ නැතුවම පෙළහර අවුරුද්ද ට
    අඬමින් මහරජ වැන්දේ දෙවිඳු ට

    දෑලේ නා විමනක් සදවා ලා
    ගැටඹේ තොටටම වීදිය සද ලා
    ඒ මැද පෙළහර යන්ට සදා ලා
    මතුවට පවතින්නට ගම් දී ලා

    මෙම කවි වලට අනුව වර්තමානයේ දේවාල භූමියේ දක්නට ලැබෙන නාගස් සමූහය ද දෙවෙනි රාජසිංහ යුගයට අයත් බව පෙනෙයි.

    මෙම දෙවොලෙහි ආශිර්වාදයෙන් බලන සටන ජය ගත් දෙවෙනි රාජසිංහ මහ රජු එයට තුති පිදීමක් ලෙස සිය ඔටුන්න, කංචුකය හා කඩුව මෙම දේවාලයට පූජා කරන ලදී. ඇතැම් තැනක සිය පියා වූ සෙනරත් රජුගේ ආසනය දේවාලයට පූජා කළ බව සඳහන් වේ.

    සියවස් තුනකට අධික සංඛ්‍යාවක් මේ දෙවොලෙහි සුරක්ෂිතව තිබූ එම ඔටුන්න 1970 දී මහනුවර ජාතික කෞතුකාගාරයට රැගෙන ගිය අතර එසේ ගෙන යෑමෙන් සති කිහිපයක් ඇතුළත එය සොරුන්ගේ ග්‍රහණයට ලක් වූහ.

    දෙවැනි රාජසිංහ රජු සමයේ දී ම මහනුවර ආක්‍රමණය කළ පෘතුගීසින් දොඩම්වල දේවාලයට ගිනි තබා වස්තුව කොල්ලකෑම සඳහා පැමිණියත් කළු දෙබරුන්ගෙන් හා නයි පොළඟුන් ගෙන් පීඩා විඳ පලා යෑමට ඔවුන්ට සිදු විය.

    න⁣රේද්‍රසිංහ රජු දවස මෙම දේවාලයේ ඇතුළු ගර්භයෙහි මැටියෙන් රාජකීය ලීලාවෙන් යුතු දේව ප්‍රතිමා ත්‍රිත්වයක් කරවා ඇති අතර මෙම දෙවොල පිළිබඳ නැවත තොරතුරු ලැබෙන්නේ 19 වැනි සියවසේ අගභාගයේ දී ය. එහිදී A Gazetteer of the Central Province of Ceylon සම්පාදනය කළ ඒ.සී ලෝරි විසින් මෙම දේවාලය ” නා හාමිගේ කෝවිල” වශයෙන් සඳහන් කරන අතර මෙහ දේවාලයේ රාජකාරි අතර පෙරහැරේ නාථ දෙවියන්ගේ පලිහ රැගෙන යාමේ වගකීම එක් ගමකට හිමි බවද ඔහු දක්වයි.

    දොඩම්වල දේවාලය දොඩම්වල දෙවි රජ හෙවත් නාගසේ දෙවියන් වෙනුවෙන් ඉදි වූවක් වුවද පසුකාලීනව මෙහි ප්‍රධාන ලෙස ම නාථ දෙවියන් පිදුම් ලබන ලදී.

    මෙසේ දිගු ඉතිහාසයක් සහිත මෙම දේවාලය වර්තමානයේ දී ද සෙංකඩගල නුවර ඇසළ මංගල්‍යය වෙනුවෙන් සිය රාජකාරි ඉටු කරනු ලබයි.

    || රුවන් වින්ඩ්සර් ||

    ජායාරූප – Amila Alahakoon Photography
    දොඩම්වල දේවාලයේ වත්මන් භාරකාර ධුරන්දර අකලංක බණ්ඩාර වේරපිටිය බස්නායක නිලමේතුමන් එහි වැඩභාර ගත් දින ලබා ගන්න ලද ඡායාරූපයකි.

    Historical Dodamwala Sri Natha Dewalaya / ඓතිහාසික දොඩම්වල නාථ දේවාලය

    • ආශ්‍රිත මුලාශ්‍ර

    1. මකුට මුණිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය – ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට් ( පරිවර්තනය – මහාචාර්ය පී.බී.මීගහකුඹුර )

    2. සිංහල දේව පුරාණය – මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස, එච්.එම්.එස්.තුන්දෙණිය

    3. ශි⁣ලාලේඛණ සංග්‍රහය IV – සංස්. සෙනරත් පරණවිතාන

    රුවන් වින්ඩ්සර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.