fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"වතු කම්කරුවන්ට විතරක් දොස් එපා- තත්වයේ බරපතළකම තේරුම්ගන්න"

    “වතු කම්කරුවන්ට විතරක් දොස් එපා- තත්වයේ බරපතළකම තේරුම්ගන්න”

    • දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් කියයි
       

    වතු නිලධාරීන්ට පහර දීමට හේතුව කම්කරුවන්ගේ කලකිරුණු මනෝභාවය බවත් ආණ්ඩුවේ වතුකරයේ පාර්ශවකරුවන් වන, ලංකා කම්කරු කොංග්‍රසයට වත්මන් තත්වයේ බරපතලකම නොතේරෙන්නේදැයි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් විමසයි.

    මේ පිළිබඳ ආණ්ඩුවේ මෙම නිහඬතාවය තමා මවිතයට පත් කරන බවත් තත්වය නිවැරදි කිරීමට කිසිවක් කළ නොහැකි හොර නිශ්ශබ්දතාවයක් දැයි තමා නොදන්නා බවත් හෙතෙම කියාසිටියි.

    “ශ්‍රී ලංකා වතු කළමනාකරුවන්ගේ සංගමය, වතු නිලධාරීන්ට පහර දීම හෙළා දැක තිබෙනවා. වතු පරිපාලනයෙන් ඉවත් වීමට සිදුවන බවද අනතුරු අඟවා තිබෙනවා. ඔවුන්ගේ කනස්සල්ල සහ හෙළා දැකීම යුක්ති සහගතයි. කිසිදු ප්‍රහාර සිද්ධීයක් දමිළ ප්‍රගතිශීලී සන්ධානය අනුමත කරන්නේ නැහැ. 

    නමුත්, වතු නිලධාරීන්ට පහර දීමට හේතුව කම්කරුවන්ගේ කලකිරුණු මනෝභාවයයි. අද ඉතිහාසයේ කිසි දිනෙක නොවූ පරිදි ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග බිඳ වැටිලා තියෙන්නේ. මේවා හරිගස්සන්නේ නැතුව, කඩා වැටෙමින් තිබෙන වැවිලි කර්මාන්තය ප්‍රතිසංස්කරණය නොකර කලකිරුණු මනෝභාවයේ සිටින කම්කරුවන්ට පමණක් දොස් පැවරිය යුතු නැහැ.  

    කම්කරුවන්ගේ හා වතු සමාගම්වල ආදායම් පහත වැටීම, කම්කරුවන්ගේ කලකිරීම, කර්මාන්තයේ පරිහානිය යන  ගැටලු කිසිවක් පාලක ආණ්ඩුවේ අවධානයට තවමත් යොමු වී නැද්දැයි මම අහනවා.”
     
    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් තවදුරටත් පැවසුවේ, 

    “මෑත ඉතිහාසයේ වතු කම්කරුවන්ගේ ජීවනෝපාය නරකම මට්ටමට ඇද වැටීම නිසාමයි මෙවැනි සිදුවීම් සිදුවන්නේ. වතුවල නිවාස ඉදිකිරීමි ඇතුලුව අපි ආරම්භ කරපු සියලු ක්‍රියාකාරකම් අද නතර වෙලා. කම්කරුවන්ගේ පවුල්වලට ජීවන තත්වය කවදාවත් නැති ආකාරයට අද ඉතා නරක තත්වයේ තිබෙන්නේ. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ කඩා වැටීමයි මේකට ප්‍රධාන හේතුව වන්නේ.  

    කම්කරුවන්ට පොරොන්දුවූ වැටුප ගෙවන්නේ නැහැ. ඒසඳහා වන ආදායම් තමන්ට නැති බව පරිපාලන ආයතනවල් පවසනවා. එහෙමනම් මේවාට විසඳුම් මොකක්ද? වැටුප් ප්‍රශ්නය අධිකරණයට බාරදීලා හැමෝම නිදා වැටෙනවා.  

    වතුවල ජීවත්වන ජනතාවගේ ආදායම් වැඩිකළ යුතුයි. ඔවුන්ට විකල්ප රැකියාවල නිරත වෙන්න අයිතිවාසිකම් දිය යුතුයි. සත්ව පාලනය, එළවළු ගොවිතැන සඳහා අවස්ථා ලබා දිය යුතුයි. මේවා සඳහා රජය ආධාර සැපයිය යුතුයි.  

    අද සමහර වතුවල, සමහර ආයතන මගින්, බාහිර වගා ක්‍රමය සිදු කෙරෙනවා. නමුත්, පොදු ස්ථාවර ක්‍රමයක් නැහැ. වතු වලින් වතුවලට, ආයතනවලින් ආයතනවලට වෙනස්වන ක්‍රමයක් පවතිනවා. මෙම ක්‍රමය තුළ, වතුවලටත් ලාබ ලැබිය යුතුයි. වැඩ කරන ජනතාවත් ජීවත් විය යුතුයි. නමුත්, මෙතනත් කම්කරුවන් සූරාකෑමට ලක් වෙනවා.  

    ඒවගේම වසර ගනනාවක් තිස්සේ වතුවල ජීවත්වන ජනතාව, තමන් ජීවත්වන ස්ථානය සුළු වශයෙන් හෝ අලුත්වැඩියා කරන්නත්, තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා ගෙවත්තක එලවළු වගාව කරගැනීමටත් වතු කළමනාකරුවන් ඉඩ දෙන්නේ නැහැ. මේවා දුප්පත්කමේ පෙලෙන කම්කරුවන්ගේ කලකිරීම වැඩි කරනවා.  

    තවද බහුතර ගැමි ජනතාවට වතුවල නිසරු බිම් ලබා දෙන අවස්ථාවල, වසර ගණනාවක් තිස්සේ වතුවල ජීවත් වන ජනතාවට ඒවා ප්‍රතික්ෂේප කෙරෙනවා. මෙවැනි සිදුවීම් දිස්ත්‍රික්ක ගණනාවකම සිදුවී ඇති අතර ඒවා අපේ අවධානයට යොමුවී තිබෙනවා. මේවා කම්කරුවන්ගේ කලකිරීම ද වැඩි කරයි.  

    මේවා සම්බන්ධයෙන් තමන් කිසිවක් දන්නේ නෑ කියලා වතු කළමනාකරුවන් ට කියන්න බැහැ. ඇත්තටම මෙවැනි සිද්ධීන් වල වතුවල ජීවත්වන දමිළ ජනතාව සමඟ සමීප සබඳතා පවත්වන්නේ, වතු කළමනාකරුවන් තමයි. මෙවැනි බිම් මට්ටමේ ඇති ප්‍රශ්න සහ කම්කරුවන්ගේ කලකිරීමට පත් වූ මනෝභාවය පිළිබඳව වතු කළමනාකරුවන්ගේ සංගමය නිබන්ධනයක් ඉදිරිපත් කළ යුතුය.  

    මෙම මූලික හේතූන් සැලකිල්ලට නොගෙන, කම්කරුවන්ට පමණක් දොස් පැවරීම අපට පිළිගත නොහැක. නමුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානය කවදාවත් ප්‍රචන්ඩත්වයට සහය දක්වන්නෙත් නැහැ. දිරිමත් කරන්නෙත් නැහැ. 

    මෙවැනි අවස්ථාවක, මේවා කිසිවක් ආණ්ඩුවේ අවධානයට තවමත් යොමු වී නැද්දැයි මම අහනවා. වතුකරයේ ආණ්ඩුවේ පාර්ශවකරුවන් වන ලංකා කම්කරු කොංග්‍රසයට වත් වත්මන් තත්වයේ බරපතලකම තේරුනේ නැද්ද කියා මම අහනවා. මෙම නිහඬතාවය මාව මවිතයට පත් කරනවා. තත්වය නිවැරදි කිරීමට කිසිවක් කළ නොහැකි හොර නිශ්ශබ්දතාවයක් දැයි මම දන්නේ නැහැ.  

    පොහොර ගැටලුව ඇතුළු වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇති පරිහානිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වතු කම්කරුවන්ගේ වෘත්තීය සමිති, කඳුරටේ දේශපාලන නියෝජිතයින්, වතු කළමනාකාර ආයතන, වතු කළමනාකරුවන්ගේ සංගමය ඇතුළු සියලු පාර්ශ්වයන් කැඳවා සාකච්ජා කළ යුතුයි. තත්වය පාලනය කිරීමට නොහැකි මට්ටමට ගිහින් හානිය නිවැරැදි කිරීමට නොහැකි තත්ත්වයට පත්වීමට පෙර ආණ්ඩුව පූර්වාරක්‍ෂක පියවර ගත යුතුය. මේ සඳහා වන පූර්ණ උත්සාහය වතු කළමනාකරුවන්ගේ සංගමය ගත යුතුයි” යැයි ද හෙතෙම වැඩිදුරටත් කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.