fbpx
තවත්
    මුල් පිටුවspecialපුංචි පැටියාට වද දෙන ඔබට හිසරදයක් වුණු මුඛයේ දුඟද

    පුංචි පැටියාට වද දෙන ඔබට හිසරදයක් වුණු මුඛයේ දුඟද

    දත් පිළිබඳව කතා කලසෑම ලිපියකින්ම මුඛ සෞඛ්‍ය පිළිබඳව සුවිශේෂි කාරණා බොහෝමයක් ගැන කතා කළා. කුඩා කාලයේ දත් මැදීම, මුඛ සෞඛ්‍ය නිවැදිව පවත්වාගෙන යාම අසීරුයි. නමුත් මුල් කාලයේ පටන්ම හොඳින් දන්ත සෞඛ්‍ය පවත්වාගෙන යන්න පුළුවන් නම් ස්ථීර දත් නිරෝගීව පවත්වාගෙන යන්න එය වඩාත් ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම දන්ත සෞඛ්‍යයට බලපාන දරුවන් අතර දක්නට ලැබෙන සුලබ තත්ත්වයක් පිළිබඳව කතා කරන්න හිතුවා. වැඩිහිටියන්ටත් මේ තත්ත්වය එක ලෙස බලපාන්න පුළුවන් වුණත් දරුවන්ට තනිව කළමණාකරණය කරගත නොහැකි අවස්ථාවක් ලෙස “මුඛයෙන් දුර්ගන්ධයක් හැමීමේ” ගැටළුව පිළිබඳව අද අපි කතා කරනවා.

    පුංචි බබාලගේ මුඛයේ දුර්ගන්ධයට හේතු

    බොහෝ වෙලාවට ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු මේ සඳහා බලපානවා. සමහර විට ආහාර දිරවීම සඳහා වැඩි වේලාවක් ගත වීමත් මෙයට හේතුවක්. මව්කිරි බොන වයසේ දරුවන්ගේ මුඛයෙන් දුර්ගන්ධයක් හැමීමට හේතුව වන්නේ මව්කිරි මුඛයේ රැදීම හා බැක්ටීරියා ක්‍රියාකාරී වීමයි. මේ නිසා මව්කිරි දීමෙන් අනතුරුව දරුවාගේ
    මුඛය පිරිසිදු කිරීම මඟින් මේ තත්ත්වය මඟහරවා ගත හැකියි. එසේම මෙම ගැටළුව සඳහා බලපාන වඩාත් ආසන්නතම හා ප්‍රබලම හේතුව වන්නේ මුඛයේ නරක් වු දත් තිබීමයි.

    නිවසේ දී කළ හැකි ප්‍රතිකර්ම

    මෙවැනි තත්ත්වයක් තිබෙනවා නම් ඒ සඳහා වඩාත් සුදුසුම ප්‍රතිකාර ක්‍රමය වන්නේ දිනකට දෙවරක් දත් මැදීමයි. එසේම ලුණු මිශ්‍ර වතුරෙන් මුඛය සේදීම මඟින් ද යහපත් ප්‍රථිපල ලබාගන්න පුළුවන්. නමුත් ඉතාම කුඩා දරුවන් සඳහා මේ ක්‍රමවේද අනුගමනය කරන්න අමාරුයි. මේවා වඩාත් සුදුසු වන්නේ සාමාන්‍ය දැනුම් තේරුම් සහිත දරුවෙක්ට පමණයි.

    පැණි රසක් ඇඹුල් රසක් හෝ මොනම ආහාරයක් හෝ ගත්තට පස්සේ මුඛය සෝදා පිරිසිදු කිරීමට හුරුවීම වඩාත් වැදගත් වෙනවා. මෙයින් දත්වල ආහාර කැබලි රැදීම නිසා ඇතිවන බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වළක්වාගන්න පුළුවන්. එයින් මුඛයේ දුර්ගන්ධය ඇතිවීම වගේම බැක්ටීරියා ආසාදන නිසා දත්වල ඇතිවන ගැටලුත් වළක්වාගන්න හැකිවෙනවා. නමුත් මෙයට විසඳුමක් ලෙස නිතර මුව සෝදන දියර (Mouth Wash) භාවිත කරන්න අවශ්‍ය නැහැ.

    දරුවන්ට පැණි රස ලබාදීමේ දී ප්‍රධාන ආහාර වේලකට පසුව ලබාදිය හැකිනම් එය වඩාත් වැදගත්. ආහාර ගැනීම නිසා බඩ පිරි තිබෙන බැවින් පැණි රසට තිබෙන රුචිය අඩුවීමත් එයින් සිදුවෙනවා. එයින් දත් දිරායාමේ අවධානම හා ඒ නිසා මුඛයේ ඇතිවන දුඟද පාලනය කරගන්න පුළුවන්. පැණි රස ආහාරයක් වෙනුවට පළතුරක් ආහාරයට ගැනීමට හුරුකරවීම වඩාත් සුදුසුයි. එයින් අතිරේක පෝෂණයක් සිරුරට එකතු වෙනවා වගේම පැණි රස කෑමට තිබෙන අවස්ථාවත් අවම වනවා.

    පැටියාගේ දත් මඳින හැටි

    මුල්කාලයේ නම් දරුවන්ගේ දත් මැදීම සඳහා පිරිසිදු රෙදි කැබැල්ලක්, පුළුන් කැබැල්ලක් භාවිත කලා. නාවන අවස්ථාවේ දී විදුරු මස මැඳීම සඳහා ඇඟිල්ලත් භාවිත කරන අවස්ථා තවමත් දකින්න ලැබෙනවා. නමුත් දැන් මවගේ පහසුව පිණිස දරුවන් සඳහාම නිර්මාණය වුණු දන්ත උපකරණ තිබෙනවා. මේවා උපයෝගී කරගෙන පහසුවෙන් හා සෞඛ්‍යාරක්‍ෂිතව දත් මදින්නට පුළුවන්.

    බබාගේ වයසට සුදුසු දත් බුරුසුවක් තෝරාගන්නා අයුරු

    දරුවාට වයස අවුරුදු 1 වනතුරු දත් මැදීම සිදුවන්නේ වැඩිහිටියෙක් අතින්. ඒ අනුව ඇඟිල්ලට දැමිය හැකි මෘදු කෙඳි සහිත දත් බුරුසුවකින් දත් මැදීම කළ හැකියි. කටේ පළමු කිරි දත ආ දිනයේ පටන්ම දත් මැදීම කළ යුතුයි. සාමාන්‍යයෙන් මාස 7, 8 පමණ වන විට පළමු කිරි දත මෝදු වනවා. සමහර දරුවන්ට එයට වඩා කල් ගතවෙන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳව බිය වෙන්න අවශ්‍ය නැහැ. මෙහිදි දන්තාලේප භාවිත නොකිරීමට ප්‍රවේසම් විය යුතුයි.

    අවුරුදු 1 1/2 පසු වෙළඳපලේ ඇති විශ්වාසවන්ත සන්නාමයක් හරහා නිෂ්පාදිත මෘදු කෙඳි සහිත ශක්තිමත් මිටක් ඇති ජූනියර් දත් බුරුසුවකින් දත් මඳින්න පුළුවන්. මෙවැනි දත් බුරුසුවක් අවුරුදු 6 ක් හෝ 7 ක් අතර කාලය වනතුරු භාවිත කළ හැකියි.

    දන්තාලේප ගතයුතු ප්‍රමාණය

    පුංචි දරුවෙක්ට යන්තම් පෙණ මතුවන ප්‍රමාණයට දන්තාලේප ගැනීම සෑහෙනවා. නැතිනම් පොඩිත්තන්ට දන්තාලේප ගිලෙන්න පුළුවන්. දරුවන්ට තනිව දත් මඳින්නට නොහැකි නිසා වැඩිහිටියන්ගේ අනුදැනුම යටතේ දත් මැදීම කළ යුතුයි. අවුරුදු 6 ක් පමණ ගතවනතුරු දත් මැදීමට හුරු කරවීම හා නිවැරදිව කෙළ බැහැර කිරීමට හුරුකරවීම සිදුකළ හැකියි. එයින් පසු දරුවා තනිව දත් මැදීමට නිරායාසයෙන්ම ඉගෙන ගන්නවා.

    වැඩිහිටියන්ට ඇතිවන දුර්ගන්ධ තත්ත්වයේ දී ඉහත සඳහන් ක්‍රමවේදයම වැඩිහිටි වියට ගැලපෙන පරිදි සකස් කරගන්නට පුළුවන්. එහිදි දන්ත වෛද්‍ය උපදෙස් මත හොඳ වර්ගයේ මුව සෝදන ද්‍රාවණයක් (Mouth Wash) භාවිතය මඟින් තාවකාලික පිළියම් ලබාගත හැකියි. එසේම මාස හයකට වරක් දන්ත සායනයක් සඳහා සම්බන්ධ වීම මඟින් මේ සඳහා වඩාත් සුදුසු ස්ථිර පිළියම් ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා.

    විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය
    තිවංක සමරකෝන්
    මහව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය

    සටහන මහේෂානි මීගහපල

    කේෂාණි සෙනවිරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.