fbpx
තවත්
    මුල් පිටුවspecialශ්‍රීලංකන් ගුවන් සේවය වසර 42 ක අභිමානනීය ගුවන් සංවත්සරය සමරයි.

    ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 42 ක අභිමානනීය ගුවන් සංවත්සරය සමරයි.

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ 42 වෙනි සංවත්සරය ඊයේ (1) යෙදී තිබිණි. ගුවන් සේවය එයාර් සිලෝන් ලෙස වර්ෂ 1947 සැප්තැම්බර් මස 01 දින ආරම්භ වූ අතර පසුව වර්ෂ 1979 දී එයාර් ලංකා ලෙස නැවත නම් කරන ලදී. පසුකාලීනව එය ශ්‍රීලංකන් ගුවන් සමාගම ලෙස ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහ කීර්තිය ලොව පුරා ඉහළ නංවා තිබේ. රටේ පවතින සෞඛ්‍ය ආරක්‍ෂක මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙවර සැමරුම් උත්සවය සාමාන්‍ය පරිදි පැවැත්වූ අතර සර්ව ආගමික ආශීර්වාද පූජාව සජීවීව විකාශනය විය.  ඒ සඳහා කාර්යමණ්ඩල නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගී වූහ. මීට අමතරව ගුවන් සේවා පරිශ්‍රයේ දී එදින උදෑසන පිරිත් සජ්ඣායනාවක් පැවැත්විණි.

    දශක හතරකටත් වැඩි කාලයක් ගුවනේ මෙන්ම භූමියේ ද  සිය අනසක පතුරමින් ජාතික ගුවන් සේවය අදවන විට ගෝලීය සම්මාන ලාභී ගුවන් සේවයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව තුළ පැවති විනාශකාරී සිවිල් යුද්ධය, දේශපාලන හා ආර්ථික කඩාවැටීම් සහ නැගිටීම්, වෙළඳාමේ උච්චාවචනයන් සහ ගෝලීය වසංගතය වැනි විනාශකාරී බලපෑම්වලට ශක්තිමත්ව ගුවන් සේවය  මුහණ දී තිබේ. මෙම අභියෝගාත්මක අවස්ථාවේ ගුවන් සමාගමේ ශක්තිය එහි ශ්‍රම බලකායත් ඔවුන් සතුව ඇති ශක්තියත් බව සැමවිටම පෙන්නුම් කර තිබේ.

     

    මෙම වැදගත් අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ පැවසීය. “ජාතික ගුවන් සේවය වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය  ජාතික ආර්ථිකයට සහ අපේ රටේ සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් සපයනවා. මේ වන විට රට මුහුණ දී සිටින දැඩි ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද ගුවන් සමාගම වෙත ලබා දෙන මූල්‍යමය සහයෝගය පිළිබඳව අපි ශ්‍රී ලංකා රජයට ස්තූතිවන්ත වෙමු. අපි ඉතා  ශක්තිමත් සංවිධානයක් වන අතර, මෙම අභියෝගාත්මක කාලයන් තුළදී අපි සියලුම දෙනා  එක්ව ගුවන් සේවාව මෙහෙයවනු ඇතැයි මට විශ්වාසයි. විශේෂයෙන් මෙම අසීරු කාල පරිච්ඡේදයේ දී සියලුම දෙනා ලබාදෙන කැපවීම ගැන මගේ අධ්‍යක්ෂ මණ්ඩලයට, කළමනාකාරීත්වයට සහ ගුවන් සේවයේ සෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටම මම ස්තූති කිරීමට කැමතියි. මේ අනුව ජාතික ගුවන් සේවය ලෙස අපි බලාපොරොත්තු වන්නේ ඉදිරියටත් ශ්‍රී ලංකාව ලෝකය වෙත ගෙන යාමේ මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමටයි” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.

    පවතින තත්වය හමුවේ වුවද ශ්‍රීලංකන් ගුවන් සේවය එහි මෙහෙයුම් වලදී පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා දරන උත්සාහයන් සඳහා ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතා “Diamond”  ප්‍රමිතිය  ද පසුගියදා හිමි විය. මීට අමතරව ආසියානු ව්‍යාපාර නායකත්ව සම්මාන උළෙලේ දී රැකියා ස්ථානයේදී සෞඛ්‍යාරක්ෂාව පවත්වා ගැනීම වෙනුවෙන් ද ගුවන් සේවය ඇයගීමට ලක්විය. ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද ‍ Future Travel Experience (FTE) Virtual Expo ගෝලීය සම්මාන උළෙලේ දී  තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම (2021 Four Star Major Official Airline)  දිනා ගන්නා ලදී . තවද අඛණ්ඩව පස්වන වරටත් මොස්කව්හි පැවති ලෝක සංචාරක සම්මාන උළෙලේදී ‘ඉන්දියන් සාගරයට මෙහෙයුම් සිදුකරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය’ ලෙස ද ගුවන් සේවය සම්මානය පාත්‍ර විය. ගුවන් සේවය විසින් නයිරෝබි (කෙන්යාව) සහ මොස්කව් (රුසියාව) යන නව ගමනාන්ත දෙක වෙත ද පසුගියදා සිය ගුවන් මෙහෙයුම් ආරම්භ  කළේය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. “ගෝලීය වසංගතය ගුවන් සේවා කර්මාන්තයට අහිතකර ලෙස බලපා තිබෙනවා. කෙසේ වෙතත්, වෙනත් බොහෝ ගුවන් සමාගම් හා සසඳන විට, මෙම පෙර නොවූ විරූ කාලයන් තුළදී ව්‍යාපාර සාර්ථකව මෙහෙයවීමට අපට හැකි වී තිබෙනවා. පවතින දුෂ්කරතා මධ්‍යයේ වුවද අපගේ සේවකයින්ගේ සාමූහික ප්‍රයත්නය නිසාම ගුවන් සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වී ඇත. ලොව පුරා අතරමංව සිටි ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීම සහ ජාතික එන්නත් කිරීමේ වැඩසටහනට සහයෝගය දැක්වීම තුළින් මෙම අර්බුදකාරී කාලයේදී අපේ මව්බිමට සේවය කිරීමට අපට හැකි විය. ” යනුවෙන් ඒ මහතා පැවසීය.

    බොහෝ ගුවන් සේවා කොළඹ බලා පියාසර කිරීම නවතා දැමූ අතර, නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය තවමත් ගුවන් ගමන් පවත්වාගෙන යමින් මේ අවස්ථාවේ රටට අවශ්‍ය සේවාව ලබාදීමට නොපසුබට උත්සාහයක යෙදී සිටියි.  සංචාරක සහ ව්‍යාපාරික ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පත්කිරීම සදහා ගුවන් සේවය විශේෂය අවධානයක් යොමු කර ඇත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.