fbpx
තවත්
    මුල් පිටුවඅනාවරණබුදුදහම අතුරුදන් කිරිමේ පළමු පියවර දහම විකෘති කිරිමයි

    බුදුදහම අතුරුදන් කිරිමේ පළමු පියවර දහම විකෘති කිරිමයි

    පසුගිය දා ජනාධිපති බෞද්ධ උපදේශක සභාව රැස්වුවිට වර්තමානයේ ඇතැම් භික්ෂු ප්‍රතිරූපකයන් ශාසනයට කරන හානිය පිළිබඳව නාහිමිවරුන් ජනාධිපති  ගෝ‍ඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කර  තිබිණ . ඒවා වළක්වා ගැනිමට සුදුසු වැඩපිළිවෙළක්  සකස් කර දුන්නහොත් තමන්ගේ ධුර කාලයේදි  එය ක්‍රියාත්මක කර දිය හැකියැයි මෙහිදි ජනාධිපතිතුමා පවසා තිබිණ.

      ඇත්තටම වර්තමානයේ  ශාසනික අර්බුදයක් තිබේද?, මුලින්ම එය සොයා බැලිය යුතුවේ. බැලු බැල්මට පෙනෙනවාට වඩා ඇතුළත සිටම ශාසනයට හානි කරන්නෝ අද වැඩිවි තිබේ.මුලින්ම කළ යුත්තේ මේ සදහා පූර්ණ අධ්‍යයනයක් කිරිමය. එසේ නොමැතිව අවිධිමත්ව කතාකර හෝ නිවේදන නිකුත්කර හෝ මාධ්‍ය හමු  පවත්වා  හෝ අද පවත්නා අර්බුදය විසඳාගත නොහැකිය. මුලින්ම සමස්ත අර්බුදය හදුනාගත යුතුවේ. ඊට බලපෑ හේතු ,පසුබිම ගැන අධ්‍යයනයක් කළ යුතුවේ.

        වර්තමානයේ ධර්මය විකෘති කිරිම් අනනත්වත් දක්නට ලැබේ. ථෙරවාදි ධර්මය විවරණ කරන ක්‍රමය නොතකා තම තමන්ගේ අභිමතය පරිදි දේශනා පැවැත්විම් අද බහුලය. මොවුන් වනසන්නේ පරියාප්ති ශාසනය හෙවත් ත්‍රිපිටක ධර්මයයි. විශේෂයෙන් බෞද්ධයන් වෙනුවෙන්ම නාලිකා බිහිවිමත් සමගම ඉන් අයහපත් පැත්තක්ද සිදුවිය. එම සමහර නාලිකා තුළින් විකාශය වන්නේ සත්‍ය දහම නොවන බව ඒ පිළිබඳව අධ්‍යනයක යෙදෙන අයෙකුට පැහැදිලිවේ. එම සමහර නාලිකා බොහෝමයක් බෞද්ධයන් යාදිනි ක්‍රමයකට ඇදදමමින් සිටි.

       නිසිලෙස ධර්මය හැදැරිමකින් තොරව ධර්මයයැයි තම අභිමත ප්‍රකාශ කරන දේශකයෝ බහුලව බිහිවුහ. බුදුදහම අතුරුදන් කිරිමේ පළමු පියවර වන්නේ ධර්මය විකෘති කිරිමයි. අංගුත්තර නිකායේ සදහන් වන්නේ විකාර නොකර දහම දේශනා කරන ලෙසය. එසේම පද ව්‍යංජ විකෘති නොකර දහම දේශනා කරන ලෙසත් අංගුත්තර නිකායේ සදහන්වේ. කැබලි කොට ගන්නා ආහාර හෙවත් බුදුරදුන් දේශනාකළ කබලිංකාර ආහාර යන වචනය සමහරු විකෘති කර ඇත්තේ කය බලියක් කරන ආහාර වශයෙනි.එසේම පටිච්ච සමුප්පාදය යනු කැමැත්තෙන් බඳින පටිය ලෙස දහම විකෘති කරන්නේ විවරණය කරති. දහම විකෘති කරමින් නිකුත් කළ ග්‍රන්ථද රාශියකි. බුද්ධ වචනය විකෘති කරන්නෝ බහුලය. රහත් යන වචනය හා අරහත් යන වදන් පවා විකෘති කර ඇත. තව ශ්‍රමණ වේශධාරිහු  ධර්මාශාසනය මත හිඳගෙන කාන්තාවන්ගේ අඟපසඟ විස්තර කරති. ඒවා අසා නිවන් යෑමට සාදුකාර දෙන අඥාන බෞද්ධයෝද වෙති. බුදුරදුන් දේශනා කළ දහම පසෙක දමා උන් වහන්සේ උපන්නේ කොහේදැයි සොයන කණ්ඩායමක්ද වෙති. කෙලෙස් නැසෙනවිට එම කෙලෙස් ශරිරයෙන් පිටවෙන ක්‍රමය හොයාගත් “ප්‍රඥායෙකුද” සිටි. ඒ හිමියන් කියන්නේ කෙලෙස් පිටවෙන්නේ බඩ ගොස් බවයි. 

      දශක තුනක් හතරක කාලයක සිය දහම මේ ලෙස වේගයෙන් විකෘති කිරිම් සිදුව්ය. නිසි ගුරු ඇසුරක් නොලැබු ,වැඩිහිටි හිමිවරුන් යටතේ ශික්ෂණයක් නොලැබු ඔිලාරික ශ්‍රමණ ප්‍රතිරූපකයන්  විසින් මෙම විනාශය සිදුකරන බව පැහැදිලිය.  

          මේ අන්දමින් දහම  විකෘති කරන පස්නමක් 2018 වසරේදි මල්වතු  පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රි  සුමංගල හිමියෝ මල්වතු විහාරයට කැඳවුහ. එම හිමිවරුන් කරන  වරද පැහැදිලි කරදිමෙන් පසු නැවත එවැනි විකෘති කිරිම් නොකරන බව මහනාහිමිට වැඳ පොරොන්දු වුහ. මේ සම්බන්ධයෙන් එකළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන්ද එයට විශාල  ප්‍රචාරයක් ලබාදුනි. නමුත් මල්වතු විහාරයෙන් පිටවු  වේලාවේ සිටම මේ දක්වාම එම පිරිස කරන්නේම ධර්මය විකෘති කිරිම්ය.

       එසේම 2018 08.06 වෙනි දින මල්වතු මහනාහිමියන් බෞද්ධ කටයුතු කොමාසාරිස්වරයාට ලිපියක් යවමින් උපදෙස් දි තිබුණේ දහම විකෘති කරන හිමිනමකගේ සාමණේර ලියාපදිංචිය අහෝසි කරන ලෙසය. එසේම සියම් මහ නිකායේ වනවාසි සංඝ සභාවේ මහනායක පස්ගොඩ ජිනවංශ හිමියෝද  2018.08.15 වෙනි දින බෞද්ධ කටයුතු ⁣කොමසාරිස්ට ලිපි දෙකක් යොමුකර තිබිණ. ඒ අධර්මවාදි කටයුතුවල නියැලෙන, තම සංඝ සභාවට අයත් හිමිවරුන් දෙනමකගේ උපසම්පදා හා සාමණේර ලියාපදිංචිය අහෝසිකරන කරන ලෙස දන්වමිනි.

       මහානාහිමිවරුන්ගේ උපදෙස් අනුව එම පිරිසගේ සාමණේර හෝ උපසම්පදා  ලියාපදිංචිය අහෝසි වුවායැයි සිතුවත් එම පිරිස තම කටයුතු තවමත් ඊටත් වඩා හොඳින් කරගෙන යන බව පෙනේ. 

       එසේම දේශපාලන අවභාවිතාව නිසාද අද භික්ෂුත්වය කෙලෙසුණු අවස්ථා එමටය. ඇතැම් හිමිවරුන්  සීමාව ඉක්මවා දේශපාලනය කිරිමෙන් මෙම තත්වය උදාවි තිබේ.

      එසේම වර්තමාන සමාජය තුළ තමන් බුදුවි යැයි කියමින් බෞද්ධයන් රවටන චීවරධාරින් පිරිසක්ද වෙති. තව කොටසක් රහත්වි යැයි කියති.සෝවාන් වුවෝද අඅනන්තය. මේ සියල්ල තුළින් ඔවුහු බෞද්ධයෝ රවටමින් තම මඩි තරකර ගනිති. මෑතකදි එක්තරා හිමිනමක්  මල්මත පැමිණ නාගාසනයක වාඩිවි කහවතුරෙන් නාහවන විඩියෝවක් අන්තර්ජලයේ වේගයෙන් සැරිසැරනි. ඊට බොහෝ දෙනා විරෝධය පාද්දි 2015.05.21 වන දින අදාළ සංඝ පාර්ශවයෙන් නිවේදනයක් නිකුත්කරමින් කියා  සිටියේ එම හිමියන් තම පාර්ශවයයට අයත් භික්ෂුවක් බවය.

        මේ කුමන අන්දමේ කුමන ශ්‍රමණ වේශධාරියෙකු වුවත් කරන්නාවු බහුරූ කෝලම් නිසා හානිය සිදුවන්නේ ඒ අය අයත් පාර්ශවයට හෝ නිකායට පමණක් නොව සමස්ත ශාසනයටම අමතක කළ යුතු නොවේ. වරක් මා සේවයකළ මාධ්‍ය ආයතනයට හොඳින් සිවුරු පෙරවගත් හිමිනමක් පැමිණිිිියහ. උන්වහන්සේ තමන්ව හදුන්වා ගත්තේ ත්‍රෛනිකායේ මහනායක වශයෙනි. ඒ පිළිබදව සදහන්වන මුද්‍රාවක්ද උන්වහන්සේ සතුවිය. එසේ බුදුවුවෝද රහත්වවුවෝද තම ප්‍රවෘත්ති පළකර ගැනිමට මා හමුවු අවස්ථා එමටය. 

       මේ අන්දමින් මානසික ව්‍යාධියට පත්වුවෝ  අද සමාජයේ බහුලය. නමුත් මේ ගැටලුවලට මේ දක්වා ලැබුණු විසඳුමක්නොමැත. මේ සම්බන්ධයෙන් යම්කිසි විධිමත් පියවරක් ගැනිමේ උවමනාවක් මල්වතු මහනාහිමියන්ට ඇතිබව උන්වහන්සේ සමඟ කතාබහ කරනවිට පෙනේ. වරක් මල්වතු විහාරයෙහි  පැවැති ජර්මනියේ සංඝනායක පදවිය පිරිනැමිමේ උත්සවයේදි මහනාහිමියන් ඉදිරියේම  ශාසනයේ අර්බුුුුද හා කතිකාවතක අවශ්‍යතා සම්බන්ධයෙන් මම ප්‍රකාශයක් කළෙමි. මා වෙත බුද්ධ ප්‍රතිමාවක්ද තෑගි දෙමින් මහනාහිමියෝ එම අදහස අගය කළහ.

       අද පවතින ගැටලු විසඳා ගැනිමට මුල්විය යුත්තේ මල්වතු මහනාහිමියන්ය. අපේ රටේ සාම්ප්‍රදායික ශාසනික නායකත්වය පවතින්නේ මහ විහාර   දෙකට බව අමුතුවෙන් කිවයුතු නොවේ. එතනදි මල්වතු මහනාහිමියන්ගේ තීරණය අතිශය වැදගත්වනු ඇත. එබැවින් මේ අර්බුදයේදිද මුල්විය යුත්තේ උන්වහන්සේය. වැරදි කළ හිමිවරුන්ට මීට   පෙර මහනාහිමිවරුන් නිකුත්කළ අණ පිළි නොපැද්දේනම්   ඉන් එහා උන්වහන්සේලාට ගත හැකි නීතිමය පියවරක් නොමැත.

    ඒනිසා වහාම ඒ සදහා නීතිමය රාමුවක් සකසා ගැනිම සුදුසුවේ. ශාසනික මට්ටමින් යම්කිසි රීතියක් සම්මුතියක් ඇතිකරගත යුතුවේ.එසේම තුන්නිකායම නියෝජනය වන ප්‍රබල සංඝ කවුන්සිලයක් වැනි දෙයක්හෝ නීතිගත නොකළහොත් ඉදිරියට ශාසන විලෝපිකයන් තවත් තවත් බිහිවනු  ඇත.

    මෙය තැන තැන කතාකිරිමෙන් හෝ  නිවේදන නිකුත්කිරිමෙන් හෝ   විසඳාගත නොහැකිය.

    අතීතයේදි රටේ ආඥාාා චක්‍රය වුයේ රටේ රජුය.ඒ නිසා රජවරු නිතරම සර්ව සාධාරණ තීන්දු ගත්හ. ශාසනික ගැටලු වලදිද රජවරු තීරණ ගත්තේ ඒ අන්දමිනි. එකල අධර්මවාදි අවිනියවාදි භික්ෂුන්පිළිබඳව සිල්වත් විනයධර හිමිවරුන් ගන්නා තීරණය ක්‍රියාත්මක කළේ රජු විසිනි. සමහර අවස්ථාවලදි එවන් අවිනියවාදි භික්ෂුන් ශාසනයෙන්නෙරපා රැකි රක්ෂා ලබාදුුුුන් බව ඉතිහාසයේ  සදහන්වේ. මහපරාක්‍රමබාහු රජතුමා මහ කාශ්‍යප හිමිගේ උපදෙස් පරිදි ශාසන ශෝධනයක් කළ බව සදහන්වේ. එවන්සිද්ධින් රැසක් ඉතිහාසයේ  සදහන්වේ. රජවරු දුශ්ශිල අවිනියවාදි අධර්මවාදින් පන්නා  සිල්වත් විනයවාදි හිමිවරුන් රැකගන්නට   පියවර ගත් නිිිසා ශාසනය  මේදක්වා සුරක්ෂිතව රැකුණි. නමුත් වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම පවතින වකවානුවක එවන් තීරණ ගත නොහැකිය. නමුත් මේ සදහා සුදුසු පියවරක් ගැනිම අත්‍යාවශ්‍යම කාරණයකි.

    වර්තමානයේ අපේ රටේ නිකායන් තුනකි. එයින් බිදුණුු පාර්ශව ගණනාවකි. සොයා බැලුවහොත් රටේ නිකාය හා පාර්ශවයන්හි මහානායක පදවිය පමණක් දරණ  හිමිවරුන් 35කට වැඩිය. අනුනාහිමිවරුන් සිය ගණනකි. අධිකරණ සංඝනායක හිමිවරුන් හා සංඝනායක පදවි දරණ හිමිවරුන්  දහස්ගණනකි. ඊට අමතරව ද්විතිය ,තෘතිය නායක පදවිද වේ.එහෙත් අද මේ අන්දමින් දහම විකෘති කරමින් බුදු, පසේබුදු මහ රහත්කියා හදුන්වා ගන්නා මානසික රෝගින් දවසින් දවස  බිහිවෙද්දි තවමත් ඒ සදහා පියවරක් ගත නොහැකිනම් එතැන ප්‍රශ්නයක් ඇතිබව අමුතුවෙන් කිව යුතු නොවේ. එම නිසා මෙම සියළු නිකායන් ඒකරාශි කර ගිහිපැවිදි විද්වත්කමිටුවක්  පත්කර අද ඇති සමස්ත    අර්බුදය හදුනාගැනිමට පියවර ගතයුතුවේ. කවුරු කුමන අදහස් පළකළත් අවසානයේ වැදගත් වන්නේ මල්වතු මහනාහිමියන්ගේ තීරණය  නිසා ගැටලුවට උන්වහන්සේගේ අවධානය වහා යොමුවිය යුතුවේ. ලබාගත යුතු විසඳුම මේ යුගයේදිම නොගතහොත් ඉදිරිය තවත් භයානක විය හැකිය. ඒ සදහා හොඳම අවස්ථාව දැන් උදාවි තිබේ.

     එසේම අපේ ඉපැරණි බෞද්ධ  උරුමයන් ද  බෞද්ධයන්ට අහිමිවියන තත්වයක් උදාවි තිබේ. මුහුදු මහ විහාරය අවසන් මොහොතේ රැකගත හැකිවිය. මේවනවිට ඓතිහාසික දෙවනගල පුදබිමට සිදුවන හානිය මාධ්‍යය මගින් ඉස්මතු කර තිබේ.

    එක්තරා පිරිසක් බුදුපිළිම කඩමින්, පුරාවිද්‍යා භූමි අල්ලා ගනිමින්, අපේ සංස්කෘතික දායාද,අපේ උරුමයේ සංකේත වනසාලති. තව පිරිසක් ඇතුළේම සිට ත්‍රිපිටකය ථෙරවාද සම්ප්‍රදාය වනසාලීමට දිවා රෑ වෙහෙසෙති. දේශන පවත්වති. පොත් ලියති. මාධ්‍යයෙන්ද ඔවුන් උඩ දමති. සංස්කෘතික උරුමය වනසන්නෝ සහ පරියාප්ති ශාසනය වනසන්නෝ යනු දෙපිරිසක් වුවත් ඔවුන් ගමන්කරන්නේ   එකම මාර්ගයේය. මේ දෙපිරි⁣සගේම අවසන් ඉලක්කය වන්⁣නේ බුදුදහම රටින් තුරන් කිරිමය. එතෙක් අප බලා සිටිය යුතුවෙිද? එම නිසා ජනාධිපතිතුමා බෞද්ධ උපදේශක සභාවේදි ප්‍රකාශකළ ආකාරයට සසුන රැකගැනිමට සුදුසු වැඩපිළිවළක් සකස් කිරිමට පියවර ගැනිම යුගයේ අවශ්‍යතාවකි.

    ( දෙස් විදෙස් සම්මාන ලැබු, ප්‍රවීණ ජනමාධ්‍යවේදි, ලක්බිම පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ධර්ම ශ්‍රි තිලකවර්ධන මහතා ලියු විශේෂ ලිපියකි මේ. ඒ මහතා සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවය හා ශ්‍රී රෝහණ සංඝ සභාව මෙන්ම අමරපුර නිකායෙන්ද, විදෙස් සංඝ සංවිධාන කිපයකින්ද ගෞරව සම්මාන ලැබු ලේඛකයෙකි.)

    ධර්ම ශ්‍රි තිලකවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.